මෙරට ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙරට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සියළු පක්ෂ වලට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කිරීමටද නියමිතව ඇත.
සති දෙකකින් පිහිටුවන නව කැබිනට් මණ්ඩලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ වැඩි ප්‍රමාණයක් ඇතුළත් වනු ඇතැයි ද වාර්තා වේ.
රට තුළ දැනට ක්‍රියාත්මක වන්නේ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් වන අතර එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වූ පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට නියමිතව ඇත.
සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරන්නේ නව සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹ නැති බවය.
පාර්ලිමේන්තුවේ විපක්ෂය වන සමගි ජන බලවේගය සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය සජිත් ප්‍රේමදාසට හෝ එම පක්ෂයෙන් නම් කරන ලද පුද්ගලයකුට ලබාදීමටද සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වේ.
එය එසේ වුවොත් දැනට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධනට සිය අග්‍රාමාත්‍ය ධුරයද ඉවත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.