එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය පැතීම අප රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිටු 37ක දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට සදහන් කරයි.
එම අරමුදලේ සහය ලබාගැනීමට නම් බදු වැඩි කිරීම, ජනතාවට ලබාදෙන සහන සහ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් අවම කිරීම හා සම්පූර්ණයෙන්ම පාහේ කපා හැරීම්, විශ්‍රාම වැටුප් කපා හැරීම වැනි රටේ අසරණ ජනතාව පීඩාවට පත්කරන අහිතකර කොන්දේසි රැසකට අවනතවීමට රජයට සිදුවන බව හිටපු මහ බැංකු අධිපතිවරයා සිය දිවුරුම් ප්‍රකාශය මගින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට පෙන්වා දී ඇත.
මෙරට ආර්ථික අගාධයකට ඇද දැමීමට පාදකවූ තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, එල්. ටී. බි. දෙහිදෙනිය හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා එලෙස පෙන්වා දෙයි.
මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තමා සැමවිටම කටයුතු කළේ මහ බැංකුවේ වගකීම නීතියට අනුව හා මහ බැංකුවේ මූලික අරමුණ ඉෂ්ට කර ගැනීමේ පරමාර්ථයෙන් බවත් තමන් ඉටුකළ කාර්ය අනුව පැමිණිලිකරුවන්ගේ කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මගින් ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මගින් හෙතෙම සදහන් කළේය.
මෙරට 2022 ජනවාරි වනවිට රජයේ ප්‍රතිපත්තිය වූයේ ණය ගෙවීම පැහැරහැරීම නොව ණය ගෙවීම බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි 18 වැනිදා සෛවරි බැඳුම්කර ණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවනු ලැබුවේ එකී පදනම මත බවත් දිවුරුම් ප්‍රකාශය මගින් සදහන් කරයි.
රාජ්‍ය ණය ගෙවීමේ වගකීම ඇත්තේ රජයට මිස රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවට නොවන බවත් ඒ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2021.12.10 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවෙන් හා 2022.04.12 වැනිදා රජය නිකුත්කළ නිවේදනයෙන් තහවුරු වී ඇති බවත් සදහන් කළේය.
මෙරට මෙවන් අගාධයකට වැටීමට හේතුවී ඇත්තේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් 3 වැනි වගඋත්තරකරු ලෙස නම්කොට ඇති බැසිල් රාජපක්ෂ හා 7 වන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර ඊයේ (01) විනිසුරු මඬුල්ලට පෙන්වා දෙයි.