මම ජනාධිපති ධූරය සදහා තරඟ කරනවා.මම රට හදන්නේ මෙහෙමයි.ඩලස් නිවේදනයක් නිකුත් කරයි.

මෙරට තමන් නව ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කළේය.

ඩලස් අලහප්පෙරුම විසින් නිකුත් කර ඇති නිවේදනය,

“අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධූර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන, ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී.ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන්ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවාගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබා ගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළය.දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විට ම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි.

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහ වෘත්තියවේදීන්ගේ සහය ලබාගත යුතු ය. මා ඔවුන් සියලු දෙනාගේ ම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.

දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන් ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට සූදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close