මෙරට පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරන ජන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කරන බවට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශයත් සමග මේ වනවිට එම පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රසිද්ධියේම පොහොට්ටු සභාපතිවරයා වන ජී.එල්. පීරිස් අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහාය පළ කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබුණේය.
සාකච්ඡාව සදහා සහභාගී වූ මන්ත්‍රීවරුන් බහුතරයක් පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ සාමාජිකයකු නොවන, ජනමතයක් නොමැති, පරාජිත මන්ත්‍රීවරයකු බැවින් ඔහුට ජන්දය භාවිතා කර තම ගමට යාමට හැකි නොවනු ඇති බවයි.
එනිසා එම පිරිස ජන්දය පැවැත්වෙන දින පාර්ලිමේන්තුවට නොපැමිණීමට කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.මෙම රැස්වීම සදහා සහභාගී නොවූ මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම මතයේම සිටින බවද වාර්තා වේ.
පක්ෂය විසින් නිශ්චිත සහ පිළිගත හැකි තීන්දුවක් නොගතහොත් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරන ජන්ද විමසීම වර්ජනය කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීරණය කර ඇති බවද වාර්තා වේ.