රටේ අවිනිශ්චිත දේශපාලන වාතාවරණය, IMF සාකච්ඡා, විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඉන්ධන අර්බුදය ඇතුලු ගැටලු වලින් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්ත්වයකට මුහුණ පා ඇත. ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ හේතුවෙන් ඉදිරි සති 02ක ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක බවය.
ඇමෙරිකාව වෝදනා කරන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ඇති බවය.ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා තවමත් නිසි එකඟතාවයකින් තොරව දිග්ගැස්සීම මෙන්ම පොලී අනුපාත ඉහළ යෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාව සඳහා නව මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා සැලසුම් නොකරණ බවට ලෝක බැංකුවද අධාරණය කර ඇත.පවතින මෙම තත්ත්වය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර සේවකයින් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතින බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දේ.
නව මූල්‍ය පහසුකම් නැහැ…ලෝක බැංකුව
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව අනාවරණය කරයි.මේ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ලෝක බැංකුව අවධාරණය කරයි.
රටේ ඖෂධ, ගෘහස්ත ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා මුදල් හුවමාරුව හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකුව දැනට පවතින ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවද ලෝක බැංකුව සඳහන් කළේය.
අද වන විට මෙම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ලෝක බැංකුව සදහන් කරයි.තවද ලෝක බැංකුව සඳහන් කළේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර සහ උපකාරක පන්ති ගාස්තු කපා හැරීම් වැනි මූලික සේවා, සඳහා අඛණ්ඩව සහාය දක්වන බවයි.
සම්පත් දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කළේය.
“ඊළඟ මාස 06 ඇතුළේ, මහා විශාල ගැටලුවක්”
මෙරට විපක්ෂ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ,
“අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කර ගන්න බැරි වුණොත් ඊළඟ මාස 06 ඇතුළේ, අපිට මහා විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.අපි බලාපොරොත්තු වුණා බ්‍රිජින්ග් ෆයිනෑන්ස් එයි කියලා. ඒ කියන්නේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සහය ලබා ගන්න පුළුවන් වුණොතින් අපිට ඩොලර් බිලියන 3ක්, තුනහාමාරක් විතර අපිට (මිතුරු රටවලින්) ලැබෙයි. ඒ ලැබෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියනක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඒක ආරම්භ වෙනකන් අපි කොහොමද අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ. ඔතනනේ ගැටලුව තිබුණේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මිත්‍ර රට වලින් මුදල් ලැබෙන පාටක් නැහැ.”
“අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය තියෙනවා නේ අපනයනය කරලා. ඒ ප්‍රමාණය විතරයි අපිට වියදම් කරන්න පුළුවන් වෙන්නේ ආනයනට.අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්වලා තිබ්බට හැම ණයම නවත්වලා නැහැ. අපිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් වගේ ගත්ත ණය කිසි සේත්ම නවත්වන්න බැහැ. අපි නොකා නොබී හරි ඒ ණය ගෙවන්න වෙනවා.”
“ඒ ණය ගෙවන්න, අපනයනයෙන් ලැබෙන සහ කලින් අපි ලෝක බැංකුව යන ආදී ආයතන සමඟ අත්සන් කරලා තියෙන ණය ගිවිසුම් ප්‍රකාරව වාර්ෂිකව ලැබෙන ඒ මුදල් පාවිච්චි කරන්න වෙන්නේ.එතකොට අපිට ජාත්‍යන්තර ගැටලුවක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේක. මේ අවස්ථාව තමා අපි ජාත්‍යන්තරයත් එක්ක සම්පූර්ණයෙන්ම සුහදව කටයුතු කරන්න ඕනේ වෙලාව.”
BBC