මෙරට අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගැනීමට මහජනතාවට අයිතිය ඇති බවත්, ඒ අයිතිය වෙනුවෙන් මහජනතාව සටන් කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.
සිය ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අවම පිරිවැයකින් යුත් විදුලි උත්පාදනය සඳහා මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන මුලික අයිතිය තහවුරු කර ගැනීම උදෙසා වන සටනට නීතිඥවරුන්ද එක්වනු ඇති බවට අපේක්ෂා කරන බවය.
මෙරට මහජනතාවට තමන්ට අවශ්‍ය විදුලි බල සේවා සපයන්නෙකු තෝරා ගැනීමට විකල්පයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට තමන් සූදානම් බවත්, අකාර්යක්ෂම සහ ආර්ථිකයට බරක් වන වෘත්තීය සමිතිවලට බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව කිසිදා ඉදිරියට නොයනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.