එරට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගිය සෙනසුරාදා දින පෙරවරුවේ චෙන්නායි හි පිහිටි මහ ඇමති කාර්යාලයේ දී තමිල්නාඩු මහ ඇමති තිරු එම්.කේ. ස්ටාලින් හමුවිය.
එරට තමිල්නාඩු රජයේ මහ ලේකම් තිරු ඉරෛ අන්බු සහ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙකු මෙම හමුව සඳහා සහභාගී වූහ.නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු 2011 වර්ෂයෙන් පසුව තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය විය.
කොමසාරිස්වරයා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාජ්‍ය උපාය මාර්ගය” නමැති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාව සහ ඉන්දීය සංගමයේ,
ප්‍රාන්ත අතර පුළුල් අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමෙන් ශ්‍රී ලංකාවේ සලකුණ පුළුල් කිරීමේ සැලැස්මේ අංගයක් ලෙස මහ කොමසාරිස්වරයා තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවී ඇත.
හමුව ආරම්භයේදීම මහ ඇමතිවරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත්තේය.
සුහද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවට ලබාදුන් රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා තමිල්නාඩු මහ ඇමතිවරයාට සහ තමිල්නාඩු ජනතාවට සිය ස්තුතිය පුද කරයි.
ඊට ප්‍රතිචාර දැක්වූ මහ ඇමති ස්ටාලින් මැතිතුමා, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ප්‍රථම නෞකාව වහාම මෙරටට එවීමට කටයුතු යොදා ඇති බවත් සඳහන් කළේය.
දෙවැනි නෞකාවක් මෙරටට එවීමට නියමිත බවත්, තවත් නැව්ගත කිරීම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එතුමා සදහන් කළේය.