බොර තෙල් පිරිපහදුව යලිත් ආරම්භ කර අදට සති දෙකක කාලයක් ගත වුණද මෙතෙක් ප්‍රමිතියෙන් යුත් ඩීසල්, පෙට්‍රල් නිෂ්පාදනය නොවන බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
මාස දෙකහමාරක පමණ කාලයක් පිරිපහදුව වසා තැබීමෙන් පසු කාර්මික දෝෂ සකස් නොකර ක්‍රියාත්මක කිරීම මෙම තත්ත්වය ඇති වීමට හේතුව බව වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
සපුගස්කන්ද පිරිපහදුවේ කාර්මික දෝෂ සකස් නොකර යළිත් කඩිමුඩියේ පිරිපහදුව ආරම්භ කිරීමත් ගත වූ දින කිහිපය තුළදී ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් ලීටර් ලක්ෂ හතරක් පමණ නිෂ්පාදනය වී ඇති බවද මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සදහන් කරයි.
මීට පෙර නිෂ්පාදනය වූ පෙට්‍රල් ලීටර් ලක්ෂ 96ක ප්‍රමාණයක් සමග මේ වන විට පෙට්‍රල් ලීටර් ලක්ෂ 100ක පමණ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත් පිරිපහදු කටයුතු නිසි ලෙස සිදු නොවීම නිසා බොරතෙල් ගොඩබෑමට ගබඩා පහසුකම් නොමැති බවද ඔහු සදහන් කරයි.
මේ නිසා පසුගිය තිස් වනදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැව ගොඩ බා ගැනීමට නොහැකිව දිනකට ඩොලර් 150,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඇතැයි ද ඔහු සදහන් කරයි.