ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ වැලිබල් වන් සමූහයේ සභාපති තනතුරට ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර පත්කර ඇත.2022 ජුනි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
හිටපු සභාපති ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන බැවින් ඒ මහතා තමන්ගේ සියලුම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජික ඇතුළු සියලු තනතුරුවලින් පසුගියදා ඉවත් විය.
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ හර්ෂ අමරසේකර ප්‍රවීන නීති වෘත්තිකයකු වන අතර වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ විශේෂඥයකු වන අතර බේරුම්කරණය හා ජාතික වශයෙන් පවතින අර්බුද යන ක්ෂේත්රවල ද සුවිශේෂී පළපුරුද්දක් ඇති අයෙක්ය.
ඔහු මේ වනවිට සම්පත් බැංකුවේ සභාපති, CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (සභාපති), එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී, ෂෙව්රෝන් ලූබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (සභාපති), ඇම්බියන් කැපිටල් පීඑල්සී, සහ අමායා ලෙෂර් පීඑල්සී ඇතුළු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරයි.
ඔහු CIC ඇග්රි බිස්නස් (පුද්) සමාගම සහ ස්විස්ටෙක් ඇලූමිනියම් ලිමිටඞ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අමානා බෑන්ක් පීඑල්සීහි සමාරම්භයේ සිට 2020 වසරේ පෙබරවාරි මස විශ්‍රාම යන තෙක් අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.