ශ්‍රී ලංකාවට ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ට වැඩම කරන ලෙස ත්‍රෛයිනිකායක මහා සංඝරත්නය ඇරයුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය උන්වහන්සේගේ පැමිණීමත් සමග ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාසය පළ කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අසල්වැසි ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුර පසුගිය 28 වැනිදා ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මෙරට මහා සංඝරත්නය හමුවී ඇති බවද වාර්තා කරයි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්, ශ්‍රී ලංකා මහා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මෙම හමුවට සහභාගී වූ බවද මාධ්‍ය වාර්තා කරයි.