ලංකාවේ අසාර්ථක ජනාධිපති ඉන්දියාවේ රූකඩයක්.

මෙරට සර්වපාක්ෂික අරගලකරුවෝ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අසාර්ථක ජනාධිපති ඉන්දියානු රූකඩයක්…!

ඉන්දියාවේ අදානි සමාගමට තරගකාරී වෙන්දේසි ක්‍රමයෙන් බැහැරව මෙගාවොට් 500ක ධාරිතාවක් ඇති සුළං විදුලි ව්‍යාපෘතියක් මන්නාරම, පුනරින්හි ඉදිකිරීමට ඉඩ ලබාදීම පිළිබඳ,

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගිය 10 වැනිදා කෝප් කමිටුව ඉදිරියේ දක්වන ලද අදහස් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

ආතතිය නිසා අලකලංචි වූ ඡන්ද කොමසාරිස්වරුන් සිටි අතීතයක සිය ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු තමන්ට එල්ල වූ විවිධ බලපෑම් මත සභාපතිවරයා එය ඉල්ලා අස්කර ගත්තද,

එම ප්‍රකාශය මෙරට පවතින දීන දේශපාලන යථාර්ථය පිළිබිඹු කළ සත්‍ය හා නිවැරදි ප්‍රකාශයක් බව අපගේ විශ්වාසයයි.

එනම් අප මාතෘ භූමිය අරාජික කරමින් ආර්ථිකය බංකොළොත් කළ ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා ජනබලයක් නොමැතිව,

බංකරයක් තුළ හිඳිමින් ඉන්දු ඇමෙරිකානු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින රූකඩයක් පමණක් බව මේ ප්‍රකාශය හරහා තහවුරු වේ.

මේ අසීරු මොහොතේ අප රටට ලබාදෙන ආර්ථිකමය ආධාර උපකාර පිළිබඳ ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අප ඉන්දියානු ජනතාවට අපගේ කෘතඥතාව පළ කරමු.

නමුත් ඒ මුවාවෙන් මේ සිදුකරන්නේ නව ආර්ථික යටත්විජිතකරණයක් නම්, එම පිළිවෙත පිළිබඳ ඉන්දියානු රජයට අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කරමු. මන්ද මෙම ප්‍රකාශ සත්‍ය නම්, ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට තම රාජ්‍ය පාලනය පිළිබඳ තීරණ ගැනීම සඳහා,

ව්‍යවස්ථාපිතව හා ජාත්‍යන්තර නීති යටතේ ඇති නිදහසට සහ අයිතියට අභියෝග කිරීමට මෝදි අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව අපගේ අදහසයි.

තවද රට බංකොළොත් කළ මරිමෝඩ තීරණ ගත් නන්දසේන රාජපක්ෂ නම් මෙරට ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය පාලකයා මේ වනවිට තමන්ට ජන බලය හා පවුල් බලය අහිමි වීම නිසා තම ධුරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විදේශ බලවේගවලට යටත් වී,

ඔවුන්ගේ ආරක්ෂාව පතමින්, ඔවුන් සතුටු කරවන ජන පීඩක තීරණ ගනිමින් සිටින රූකඩයක් බවට පත්ව අවසන්ය යන්න මෙයින් පැහැදිලිය.

ගෝල්ෆේස් ගෝඨාගෝගම අරගල භූමියට නුදුරින් පිහිටා ඇති ඉඩම එදා චීන සමාගමකට පැය ගණනකින් පැවරූ ආකාරයටම, මෝදිගේ බලපෑමට අනුව අදානි සමාගමට උක්ත විදුලි ජනන ව්‍යාපෘතිය පවරන්නේ නම් ජනතාව විසින් රාජපක්ෂ ජනාධිපතිවරයා නුදුරේදීම බලයෙන් පහ කරන මොහොත වනවිටත් අප රටට කුමන තරමේ හානියක් සිදු කරනු ඇත්ද යන්න සිතිය නොහැකි තරම්ය.

මෙරට සම්පත් රාජපක්ෂලාගේ බූදලයක් නොව අප රටේ දුක්විඳින මිනිසුන්ගේ සහ අනාගත පරපුරටද අයත් රටේ උරුමයක් බව ඉන්දු ඇමෙරිකානු රූකඩ ජනාධිපතිවරයා මතක තබාගත යුතුය.

දුර්වල පාලකයන් රට පසෙකලා තම පැවැත්ම වෙනුවෙන් නිවටයන් සේ බලපුළුවන්කාරකම් ඉදිරියේ දණ නවන බව දොන් ජුවන් ධර්මපාල ඉතිහාසය අපට පසක් කරදෙයි.

නමුත් වසර දෙදහස් පන්සියයක් වූ අභිමානවත් ඉතිහාසය උර දරා හෙට රට නව්‍යත්වයෙන් යුතුව ඉදිරියට ගෙනයාමට සමත් මිලියන විසි දෙකක එකමුතු ශ්‍රී ලාංකේය පරපුරක් මේ දේශයේ තවමත් ඉතිරිව සිටින බවත්,

අත්තනෝමතික නිවට අමනෝඥ තීරණ පිළිබඳ ඔවුන් සංවේදීව බලා සිටින බවත් ශ්‍රී ලංකාවේ රූකඩ නන්දසේන ජනාධිපතිවරයාට සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස අපි අවධාරණය කරමු.

එමෙන්ම විදුලි බල මණ්ඩල සභාපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ සිදු කර ඇති ප්‍රකාශය සුළුපටු නොවේ. එය ඍජුව ගෝලීය දේශපාලනයේ ස්වභාවය පෙන්නුම් කරන බරපතළ ප්‍රකාශයකි.

යම් හෙයකින් ඔහු සිදු කළ ප්‍රකාශය අසත්‍යයක් නම් කෝප් කමිටුව වැනි වැදගත් කමිටුවක් නොමඟ යැවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවට අපි යෝජනා කරමු.

එලෙස සිය පුද්ගලය මනෝභාවයන්, ආත්මීය සාධක සහ හැඟීම් පාලනය කරගැනීමට අපොහොසත් පුද්ගලයෙකු විදුලි බල මණ්ඩලය වැනි රටේ පැවැත්මට උග්‍ර බලපෑමක් සිදු කරන මර්මස්ථානයක ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කිරීම මගින් එම ආයතනයටත්, විශේෂයෙන්ම මෙවැනි අර්බුදකාරී වාතාවරණයක සමස්ත රටටත් සිදුවිය හැකි හානිය ඉමහත් බවද අපගේ අදහසයි.

සර්වපාක්ෂික අරගලකරුවෝ

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close