මෙරට විවෘත ඇණවුම් ක්‍රමය’ යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම නිසා භාණ්ඩ ආනයනය තාවකාලිකව නතර කිරීමට ආනයනකරුවන්ගේ සංගමයේ අවධානය යොමුවෙයි.
ඒ සහල්, තිරිඟුපිටි, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සීයයක් මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කරයි.
මෙම භාණ්ඩ විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වීමට ආනයනකරුවන් යෝජනා කළද ශ්‍රී ලංකා මහ බැංකුව ඊට විරුද්ධත්වය පළ කරයි. ඊට හේතුව වන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරු වීම වැළැක්වීම සඳහාය.
ගැසට් නිවේදනය ජූලි මාසයේදී පමණ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිලක් පැනවීමට යෝජනා කළත් වෙළෙඳ අමාත්‍යාංශය ඊට විරෝධය පළ කරයි.
මෙරට ආනයනික සහල් සහ සීනි සඳහා පාලන මිලක් පැනවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වෙයි. එහෙත් ඇමැති නලින් ප්‍රනාන්දු ඊට විරුද්ධත්වය පළ කරයි.සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ මේ වන විට අලෙවි වන්නේ රුපියල් 300කටය.
සීනි පාලන මිල ලෙස රුපියල් 150ක මිලක් ගැසට් කිරීමට සූදානම් වුවද එයද අත්හිටුවා ඇත. ඉන්දීය ණය ආධාර යටතේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් 190ක් වුවත් අලෙවි කරන මිල රුපියල් 240ක් බව තොග වෙළෙඳුන් අගමැතිවරයාටද දැනුම් දී ඇත.
එරට ඉන්දියාවෙන් රුපියල් 180කට ආනයනය කරන පොන්නි හා කෝරා සහල් වෙළෙඳපොළේ අලෙවි කිරීමට නියමිතව ඇත්තේ රුපියල් 235කටය. දැනට වෙළෙඳපොළේ රුපියල් 250කට අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ බී ලූනු හා අල පමණක් බව සඳහන් වෙයි.
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මෙන්ම විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහය සඳහා පාලන මිලක් පනවන ලෙස තොග වෙළෙඳුන්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලයි.