මැයි 09 වන දා පොහොට්ටු පක්ෂ මැරයන් විසින් ගෝඨාගෝගමට සිදු කළ පහරදීමෙන් පසුව, රට පුරා ඇති වූ ප්රචණ්ඩත්වය දඩමීමා කර ගනිමින්, විරුද්ධ මත දරන දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කරමින් සිටී.මෙරට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
පොලිසිය විසින් අවිචාරවත් ලෙස පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටින බව තම සංගමයේ සාමාජිකයන් හරහා තමන්ට දැන ගන්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පොලිස්පතිවරයාට සදහන් කර ඇත.
මෙරට පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළුව ඉහළ පොලිස් නිළධාරීන් පත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මෑතක දී ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් වී ඇත.ප්‍රදේශය තුළ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලනයන් පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේදී මැදිහත් වූ බව පොලිස්පතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා වුයේය.
රටේ එවැනි තත්ත්වයක් තුළ, නිවැරදි සාක්ෂි මත පදනම් නොවී, දේශපාලනඥයන් විසින් ලබාදෙන ලද නාම ලේඛන මත පිහිටා අත් අඩංගුවට ගැනීම් සිදුවන බවත් එය පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් නීතීඥ සංගමය සදහන් කරයි.
09 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, අදාල සිද්ධීන් සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශවල නොසිටි බව තහවුරු වී තිබිය දීත් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථා පිළිබදව ද වාර්තා වී ඇත.සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, තමන් යටතේ සිටින පොලිස් නිළධාරීන්ට, අපක්ෂපාතීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.