ජනතාව හදිසි, අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම් ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිම්වලට නොඑන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙරට තුළ ඉන්ධන බෙදා හැරීම, පවතින ඉන්ධන සංචිත පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේය.අමාත්‍යවරයා සදහන් කළේ, ලබන 23 වැනිදා පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.
ජුනි 23 වැනිදා පෙට්‍රල් නැවක් සහ ජුනි 24 වැනිදා ඩීසල් නැවක් ලබා ගැනීමට ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කළ බව ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී දැනුම් දුන්නේ, සියලු පෞද්ගලික බස් රථ සඳහා ආසන්නම ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බැවින් වෙනත් පිරවුම් හල් වෙත නොයන ලෙසටයි.
තිරෝද රථ හා යතුරුපැදි වෙත අංක තහඩුවේ අවසන් ඉලක්කම මත දින වෙන් කර ඉන්ධන ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළේය.