ඉදිරියේදී රටේ ජනතාවට අතිරේක බරක් නොවන පරිදි දුම්රිය සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්වීම් ලිපි ප්‍රදානය කිරීම උත්සවයකට එක්වෙමින් සදහන් කරයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,
“ මා අමාත්‍යවරයා ලෙස මෙම වගකීම භාර ගන්නා අවස්ථාවේ මාසික ආදායමක් පැවැතුනේ රුපියල් මිලියන 400ක් ලෙස. නමුත් ඉන්ධන මිල ඉහළ යෑම ඇතුළු ගැටළු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර එහි අනුමැතිය ලබාගෙන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අපි පියවර ගත්තා.
එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු මාසයේ සිට සෑම මසකම රුපියල් මිලියන 1000 කට වැඩි ආදායමක් ඉපයීමට දුම්රියදෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති මේ අවස්ථාවේ අප සියලු දෙනාගේම උත්සාහය විය යුත්තේ මෙහෙයුම් අලාභයකින් තොරව ආයතනය පවත්වාගෙන හැකි ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව පත් කිරීමට කැපවීමයි. කිසිදු ආකාරයකින් දුම්රිය සේවය පුද්ගලිකකරණය කිරීමට කිසිදු අදහසක් අපට නැහැ.”