By unusuma.lk on
(LK time)අද (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් කැඳවා අවධාරණය කර සිටියේ රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ක්‍රියාවට නැඟීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතු බවයි.
එමෙන්ම නව වැඩපිළිවෙළක් සහ දේශපාලන මතවාදයක් යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් ගොඩනැගීමෙන් පමණක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් ඔවුන් සතු අති විශාල මුදල්, මාධ්‍ය මෙන්ම රාජ්‍ය බලය මෙහෙයවමින් සිටි අවස්ථාවකදී රටේ ජනතාව නව මතවාදයක් විශ්වාස කළ බවත් ඒ වෙනුවෙන් අවධානමක් ගත් බවත් එම මතවාදය මහ පොළොවේ යථාර්ථයක් කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් දේශපාලන යාන්ත්‍රිණය ගොඩනැඟීමට කාලය එළඹ ඇති බවත් ජනාධිපතිවරයා මාලිමා අපේක්ෂකයන් හමුවේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“මේ වෙනකොට අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. මේ ධෛර්යවන්ත හැරවීම යථාර්ථයක් කිරීම සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ.
නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක්‍රාන්ති කාලයක් ගතකිරීමට කැබිනට් මණ්ඩලයේ අප තිදෙනාට පැවරී තිබෙන්නේ.
මේ සංක්‍රාන්ති අවධියේ දී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන කි‍්‍රයාවට නැගීම සඳහා ප්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි.”