සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම හරහා ජනතාවට.!

අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වනවිට ලැබීමට නියමිත බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

අප රට ණය ගෙවිය හැකි රටක් ලෙස නැවත ලෝකය හමුවේ තහවුරු කිරීමට තමා බලාපොරොත්තු වන බවත් බංකොලොත් රටක් ලෙස අපට අහිමි වී තිබූ විදෙස් ආධාර නැවත හිමිකරගැනීමට කටයුතු කලහැකි බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමෙන් වැළකී සිටි විදෙස් බැංකු සහ සමාගම් නැවත ගනුදෙනු කිරීම ආරම්භ වීමත් සමඟ රටේ මුදල් ප්‍රමාණය ඉහළ යාම තුළින් ආර්ථිකය ශක්තිමත් වන බවත් මේ සමඟ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“මේ වනවිට රුපියල ශක්තිමත් වී තිබෙන අතර ජූනි මාසය පමණ වනවිට ඩොලරයක මිල රුපියල් 280 දක්වා අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව භාණ්ඩවල මිල ගණන්වල අඩුවීමක් සිදු වෙනවා. ලබන වසර වනවිට රුපියල මීටත් වඩා ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ආර්ථික දුෂ්කරතා පැවතියත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ අනුව මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩිවීමක් සිදු වෙනවා. එසේම සමෘද්ධිය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.”

කෑගල්ල ප්‍රදේශයේ, මංගෙදර ටැම්පිට පිරිවෙන් විහාරස්ථානයේ ‌‌පැවති පුණ්‍යෙත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close