By unusuma.lk on
(LK time)13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන බුවනෙකබා රාජ සභා මණ්ඩපය සහිත ඓතිහාසික ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබියදී මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් 2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා කුරුණෑගල මහ නගර සභාව විසින් එම ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කඩා බිද දමා තිබිණි.
පසුව එම ඓතිහාසික ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් එවකට අධිකරණයේ නඩුවක්ද විභාග වූ අතර එහිදී එම සිදුවීමට වරදකරු වූ එවකට කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු චූදකයන් සිව්දෙනකු අධිකරණය මගින් බන්ධනාගාරගත කෙරිණි.
කෙසේවෙතත් එම නඩු කටයුත්ත අවසන්වීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ මේ වන විට කොටසක් කඩා දමා ඇති කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය යලින් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමටයි.
පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසන්නේ අදාල ගොඩනැගිල්ල පිහිටි භූමිය එම නගර සභාව සතු භූමියක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කොට ඇතත් ඒ සදහා කුරුණෑගල මහ නගර සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි.