Attention (Sinhala)

ජනාධිපතිවරණය කල් දමනවාද.. තීරණය අද.!

ජනපති ධූර කාලය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ ඇති අපහැදිත්වය නිරාකරණය කෙරෙනා තෙක්, ජනපතිවරණය පැවැත්වීම වලක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (08) සලකා බැලීමට නියමිත අතර අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීතී පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා මහත්වරුන් පත් කර ඇති බව වාර්තා වේ.

එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය දැක්වෙන 30/2 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82/6 වන ව්‍යවස්ථාවට අනුව නියමිත ආකාරයට සංශෝධනයවී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත්‍ ය.

මෙම පෙත්සම් විභාගය අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සාමාජිකයින් හා කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසත්, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් ලෙස සලකා ඉදිරි ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු විසින් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට නායායෑමේ රතු නිවේදන නිකුත් වෙයි.!

ඊයේ (5) දිනයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට දැනුවත් කිරීම් නිවේදන නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වනුයේ පසුගිය මාසයේ පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල භූමියේ ඉරිතලීමට ලක්ව ඇති ඇතැම් ස්ථානයන් හඳුනාගෙන ඇති බවත් එම ස්ථානාවට ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් අද සහ හෙට දිනයන්හි වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් සිදුවුවහොත් ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ළඟා වන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

මුළු මහත් ලෝකයේම ජනාදරයට පත් විසේකාරයා.. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිටියෙන් සමුගනී.!

ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) අළුයම අවසන් වූ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරදා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය. 

නියමිත කාලය තුළදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වීම සහ ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර අවස්ථාවෙනි.

එහිදී පෘතුගාලය අවස්ථා 05න් අවස්ථා 03ක් පමණක් සාර්ථක කරගනිද්දී, ප්‍රංශ කණ්ඩායම පහර අවස්ථා 05ම සාර්ථක කරගත්හ.

කෙසේවෙතත් යුරෝපා කුසලාන ඉතිහාසයේ පෘතුගාලය පසුහිය 2016 වසරේ ශූරතාව දිනාගත් අතර, 2004 වසරේදී අනුශූරයන් වූහ.

තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය හා ස්පාඤ්ඤය ගැටීමට නියමිතව ඇති අතර, එම තරගය මේ මස 09වැනිදා පැවැත්වේ.

පෘතුගාලය තරගාවලියෙන් ඉවත්වීමට වඩා ප්‍රේක්ෂකයින් සහ පාපන්දු ලෝලීන් සංවේදී කළ කරුණ වන්නේ, පුරා වසර 21ක් පෘතුගාලය නියෝජනය කරමින් දස්කම් පෑ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමයි.

මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව රොනාල්ඩෝ මින් පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනි.

39වියේ පසුවන රොනාල්ඩෝ මේ දක්වා යුරෝපා කුසලන 06කට ක්‍රීඩාකර ඇති අතර ඔහු ජාත්‍යන්තර පාපන්දු පිටියට අවතීරණ වූයේ 2003 වසරේදී කසකස්තානයට එරෙහිවයි.

එවකට වයස 18ක් වූ ඔහු, මේ දක්වා ජාත්‍යන්තර තරග 212කදී පෘතුගාලය වෙනුවෙන් ගෝල 130ක් වාර්තා කර ඇත.

කෙසේ නමුත් රොනාල්ඩෝ තවදුරටත් සෞදි අරාබියේ Al Nassr ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය වෘත්තීය ක්‍රීඩාව පවත්වාගෙන යනු ඇති බව වාර්තා වේ.

PHI ඝාතනය අත් වැරදීමක්.. පොලිස් පරීක්ෂකට දිවිදී සෞඛ්‍ය පරීක්ෂක වෙඩි කාලා.!

තම නිවසේ දී වෙඩි තබා ඝාතනයට ලක් වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබූ පුද්ගලයා ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර එම ඝාතනයට යොදාගත් බවට සැලකෙන පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

මූලික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතකයා පොලිස් නිලධාරියකු යැයි සිතා වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇත.

අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරු 51 හැවිරිදි පුද්ගලයෙක් බව පැවසේ.

එම ඝාතනයෙන් පසු වෙඩික්කරුට ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින 20ක් තිස්සේ නවාතැන් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් සොයාගෙන ඇත.

ඝාතකයා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගෙන කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

මොහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙඩික්කරුට ඩුබායිහි සැඟව සිටින පාතාලයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නැමත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ ජීවත්වූ උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එමෙන්ම ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටින පාතාල නායකයා ඔහුට ඝාතන කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ අදාල පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි පවසමින් බව අනාවරණය වී ඇත.

නමුත් ඔහු දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි.

සමන් කොල්ලා නැමැති පාතාලයාට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු එම පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

ලබාදුන් ඡායාරූපය අනුව ඝාතකයා ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එහිදී සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියක් වන අතර මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

මෙම ඝාතනය සඳහා ඩුබායි පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක මුදලක් අත්තිකාරමක් ලෙස ලබා දී ඇති අතර එම මුදල ඝාතකයාගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇත.

ඇෆ්ගන් ක්‍රිකට් නාමය සරණාගත ක්‍රිකට් ලෙස වෙනස් කර දෙන්නැයි කණ්ඩායමෙන් ඉල්ලීමක්.!

දැඩි කාන්තා විරෝධී ඇෆ්ගනිස්තානයේ බලය පතුරවාගෙන සිටිනා තලේබාන් සංවිධානයේ තර්ජනයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ ජීවත්වෙමින් ඇග්ගන් ධජය යටතේ ක්‍රීඩා කරනා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන ලෙස ICCය වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එසේ පිහිටුවාගන්නා සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පදනම් කරගත් නැඟෙනහිර ආසියානු ක්‍රිකට් කාර්යාලය හරහා පාලනය විය හැකි බවත්, ඇෆ්ගනිස්තාන ධජය ඉවත්කර සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස පිළිගන්නා ලෙසත් එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය හොබවනා තලේබාන් සංවිධානය එරට කාන්තා ක්‍රිකට් තහනම පනවා වසර තුනක් ගතවී ඇති අතර, ඇෆ්ගනිස්තානයේ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ජීවිත ආරක්ෂාව උදෙසා රටින් පලා ගියහ.

නමුත් එම ක්‍රීඩිකාවන් මේ වනවිට ඔස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල පුහුණුවීම් සිදුකරමින් සිටින හෙයින් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ සරණාගත කණ්ඩායමක් පිහිටුවීමට උපකාර කරනා ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

තලේබාන් රජය පිහිටුවා මාස 9කට පසු ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩා තහනම් කරන ලද අතර මේ හේතුවෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් විදේශගත විය, ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සැලකිය යුතු පිරිසක් දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බව පැවසේ.

පැෆරල් සංවිධානය මාලිමාවේ ප්‍රභලයින් සමඟ හදිසි සාකච්ඡාවක.. ජනතාවට සුභ පණිවිඩයක්.!

ඊයේ (03) දිනයේ පැෆරල් සංවිධානය ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රබලයෙන් පිරිසක් සමග හදිසි සාකච්ඡාවක් කැඳවා තිබූ බව වාර්තාවේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා එහි අරමුණ පිළිබඳ අදහස් දැක්වීය.

ඔහු පවසා සිටියේ පැෆරල් සංවිධානය විසින් සිදු කළ යෝජනාවකට අනුව එම සාකච්ඡාව පැවැත්වූ බවත් එහිදී දේශපාලන පක්ෂ විසින් ජනතාව වෙත ලබාදෙන මැතිවරණ ප්‍රකාශනයන් සම්බන්ධ දීර්ඝව කරුණු සාකච්ඡා කළ බවයි.

ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයට පෙර එක් එක් අපේක්ෂකයන් විසින් ලබාදෙන මැතිවරණ පොරොන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාවට නැංවීම පිළිබඳව යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා එම සාකච්ඡාවේදී යෝජනාව වූ බවයි.

එම සාකච්ඡාවේදී ජාතික ජන බලවේගයේ ස්ථාවරය ප්‍රකාශ කළ අතර මැතිවරණ පොරොන්දු ක්‍රියාවට නැංවීම සඳහා යම් නෛතික යාන්ත්‍රණයක් සකස් කිරීම වඩා සුදුසු බව ජන බලවේගය විසින් යෝජනා කළ බව එහිදී මහ ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

සෙල්ලම් කරන්න ඉඩ දෙන් නෑ.. ජනපති සැරවෙයි.!

අද (3) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අධ්‍යාපනය කටයුතු කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවයි.

එම උත්සවයේදී උපාධිධාරී ගුරු පත්වීම් 1706ක් සහ පුහුණු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී පත්වීම් 453ක් ලබාදීමට කටයුතු කළේය.

එම සභාව අමතමින් ජනාධිපතිවරයා සමහර ගුරුවරුන්ගේ විනය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පලකළ අතර පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා

විනයක් ඇතුව කටයුතු කරන්න. විනයක් නොමැතිව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බෑ. මීට පෙර ඇති වුණ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දී  ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ සිසු සිසුවියන්ට විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ට. මට යාපනේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඉඩදුන්නේ නැහැ මෙහෙම වැඩවර්ජනය කරන්න. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. අපේ ගෙදර ළඟ තියෙනවා ලේඩිස් කොලේජ් එක, ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. මොකක්ද මේ මිනිස්සු කළේ ?  මේ නායකයෝ කළේ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. ශිෂ්‍ය නායකින් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපති, අපි ගිහින් උගන්වන්න ද මේ අයට කොහොම ද මේ අයට විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමට  අද ගුරුවරු වැටිලා තියෙන්නේ. සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා.”

පැයෙන් කොලඹ සිට කුරුණෑගලට යන්න හැකිවෙන ලකුණු.!

චීනය සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ පසුගිය ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දැමූ මෙරට ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන – ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

එම මුදල් අතර දැනට වසර තුනකට අධික කාලයක් ප්‍රමදවී ඇති කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටස සඳහා වෙන්වුණු මුදල්ද ඇතුලත් බව මහා භාණ්ඩාගාරය පවසයි.

මේ වනවිට එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට චීන අපනයන – ආනයන බැංකුව සමඟ නව කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනා බව වාර්තා වේ.

මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල නිදහස් කරගැනීමට හැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ ප්‍රමාදවූ මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවන බවයි.

ලබන මාසයේදී එම මුදල නිදහස් කර ගැනීම සඳහා චීනය සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත් එම මුදලේ පළමු වාරිකය සාකච්ඡා ආරම්භ කර මාස 2 ක් තුළ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සූර් වැඩිවී ඩ්‍රයිවර් කෝච්චියෙන් බැස දුවලා… මගීන් මහ මග.!

අද පෙ.ව. 10 .40ට කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස බීමතින් සිහිවිකල් ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට කිට්ටු සුදුහුම්පොල ප්‍රදේශයේදී නවතා දමා දුම්රියෙන් බැස පලා ගොස් ඇත.

එහිදී දුම්රියේ සිටි මගීන් රියදුරා ලුහු බැඳ ගොස් හසුකර ගෙන, එම දුම්රිය සහාය රියදුරා කැඳවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.

පසුව මගීන් එක්ව මහනුවර දුම්රිය ස්ථානයේදී අදාල බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනා බවයි.

මෙම සිදුවීමෙන් කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්වී ඇති බව වාර්තා වේ.

සිදුවීම හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් පමාවී ඇති අතර ඉන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බාඅ වාර්තා වේ.

දවස් හතරට පන්සියයක් මරුට.!

අසල්වාසී පාකිස්තානයේ දේශගුණික ව්පර්යාස හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි විමෙන් එරට විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 500 අධික සංඛ්‍යාවක් ඉකුත් දින හතරක කාලයේ දී මියගොස් ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.

එරට ක්‍රියාත්මක වන ඒඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරයේ සිට මෘත ශරීරාගාර වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ නමුත් ඉකුත් සිකුරාද‍ා සිට බදාදා දක්වා ගත වූ දින 6ක කාලයේ දී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බව පාකිස්තානු මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් අධික උණුසුම් තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.