Attention (Sinhala)

බූස්ස බන්ධනාගාර හිටපු අධිකාරිවරයාගේ ඝාතකයා කොටු වෙයි.!

බූස්ස බන්ධනාගාර හිටපු අධිකාරිවරයාගේ ඝාතකයා කොටු වෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (16) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සවිකර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තෙක්.

සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවද පොලීසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලීසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙක් බවද පොලීසිය පවසයි.

සැකකරු ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නැමැති ව්‍යාජ නමක් භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන ඇති අතර රටින් පිටවීම සඳහා ඔහු මෙම නම භාවිත කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.

පිල්ලයාන් සමග සිදුකළ සාකච්ඡාව ගැන ගම්මන්පිල කතා කරයි.!

පිල්ලයාන් සමග සිදුකළ සාකච්ඡාව ගැන ගම්මන්පිල කතා කරයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසන්නේ මේ වන විට ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිබඳ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වැරදි කරුණු ප්‍රචාරය කෙරෙන බවත් එම කරුණු සහ තමා පිල්ලෙයාන් හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට අප්‍රේල් 16 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බවත් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිල්ලෙයාන් අප්‍රේල් 13 වැනිදා මුණගැසීම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10 ආ 1 යටතේ ඕනෑම රැඳෙවියෙකුගේ නීතිඥයාට හමුවීමේ අවස්ථාව තියෙනවා. ඔහුව බලන්න නීතිඥයා අප්‍රේල් 09 වැනිදා ගියා. එහෙත් ඒ නීතිඥයාට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නීතිඥයා මා එක්ක කිව්වා.

ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කතා කරලා අවසර නොදුන්නේ ඇයිද කියා ඇහුවා. ඔහු එවැනි සිදුවීමක් දන්නෑ කිව්වා. පිල්ලෙයාන්ගේ නීතිඥයා වැකේෂන් ගිහිල්ලා නිසා මම බලන්න ආවොත් ඉඩ දෙනවාද කියා විමසුවා.

ඊට පස්සේ මම ලියුමක් ලීවා මම නීතිඥයා කියන කරුණ සඳහන් කරමින්. එම ලියුම යොමු කරලා පැය කිහිපයක් ඇතුළත මට දැනුම් දීලා කිව්වා පහුවදා උදේ 10ට හමුවෙන්න කියලා. ඒ අනුව මම ගිහින් ඔහුව මුණගැහුණා. වැඩිදුර විස්තර මම මාධ්‍ය හමුවේදී කියන්නම්.”

අපි කරපු ටික විතරයි.. ආණ්ඩුව ජනතාව රවටලා.!

අපි කරපු ටික විතරයි.. ආණ්ඩුව ජනතාව රවටලා.!

පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි.

එහි නිරීක්ෂණයකට ඊයේ (15) එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, හර්ෂ ද සිල්වා මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදීය.

කෙසේවෙතත් එම සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී පසුගිය 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණා.

එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ එහි ගිය අතර ගබඩා සංකීර්ණයේ තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් පළ කර තිබුණා.

අමෙරිකාවේ භූ කම්පනයක්.!

අමෙරිකාවේ භූ කම්පනයක්.!

රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයේ ඇතිවී තිබේ.

එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.

එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

අද ගමන් බිමන් හවස් වෙද්දී අවසන් කරන්න.!

අද ගමන් බිමන් හවස් වෙද්දී අවසන් කරන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (15) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

පිල්ලෙයාන්ට උපදෙස් දෙන්න රනිල් අවස්ථාවක් ඉල්ලයි.. නීතීඥවරයා ලෙස ගම්මන්පිල ඉදිරිපත් වෙයි.!

පිල්ලෙයාන්ට උපදෙස් දෙන්න රනිල් අවස්ථාවක් ඉල්ලයි.. නීතීඥවරයා ලෙස ගම්මන්පිල ඉදිරිපත් වෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීම සඳහා සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

අදාළ සැකකරුගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන තමන්ට ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසෙයි.

ඒ අනුව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට උදය ගම්මන්පිල මහතාට අවස්ථාව ලබාදුන් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම සාකච්ඡාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ සිදුවූ බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 08 වනදා සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදෙනු ලැබීය.

කෝටි හතර හමාරක බඩුත් සමඟ රේගුව වැඩ අල්ලයි.!

කෝටි හතර හමාරක බඩුත් සමඟ රේගුව වැඩ අල්ලයි.!

අද (14) උදෑසන කුෂ් සහ හශීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතුරින් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර අනෙකු පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ මගීන් තිදෙනා බැංකොක් සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන් මළු තුළ තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය අතුරින් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,616ක් සහ හශීස් ග්‍රෑම් 1,762ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්න බවද රේගුව පවසයි.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෑතකදි සිදුකරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් අතුරින් එකක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම හැඳින්විය හැකි බවය.

සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමටද පියවර ගෙන තිබේ.

අලුත් අවුරුද්දේ මාරක රිය අනතුරු රැසක්.!

අලුත් අවුරුද්දේ මාරක රිය අනතුරු රැසක්.!

ඊයේ (13) දිනයේ මහව, මනම්පිටිය, බලංගොඩ සහ සිලාවතුර යන පොලිස්වසම්වල සිදුවූ රිය අනතුරු කිහිපයකින් අවුරුද්දයි මාස 07ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහව පොලිස් වසමේ අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අයිනේ තිබූ කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොච්චිවත්ත, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් සහ 53 හැවිරිදි කාන්තාවකි.

ඔවුන් අඹුසැමි යුවළක් බව පොලීසිය පවසයි.

මේ අතර බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ දෙපැලමුල්ල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා වේ.   

අනතුර සිදුකළ වයස අවුරුදු 39 මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇත. 

මේ අතර මනම්පිටිය පොලිස් වසමේ දිඹුලාගල මහඋල්පත මාර්ගයේ මහඋල්පත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා පැදිකරු මනම්පිටිය හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මහඋල්පත, කාශ්‍යපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකි.

මේ අතර සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර මුල්ලිකුලම් පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාසිතණ්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ එළ ගවයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු සිලාවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා පැදිකරු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.  

එලෙස මියගොස් ඇත්තේ, මරිච්චකට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

බලාපොරොත්තු දැල්වෙන සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා.!

බලාපොරොත්තු දැල්වෙන සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා.!

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.

අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.

අභියෝග හමුවේ නොසැලි රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්ය වගකිව යුතු රජයක් ලෙස අප සතු අතර, භූ දේශපාලනය තුළ මෙන්ම ජාතික වශයෙන්ද රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විට ක්‍රියාවට නංවමින් සිටියි.

මිනිසාත්, සොබාදහමත් අතර පවත්නා වූ භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙහි අපූර්වත්වය අලුත් අවුරුදු චාරිත්‍ර-වාරිත්‍රවලින් නිරූපිතය. ඒවා සිංහල දෙමළ ජාතීන් අතර පැවති ‌ෙඑතිහාසික බැඳීම හා සහජීවන පැවැත්ම පිළිබඳ ජීවම‌ාන සාක්ෂියකි. වත්මන් සමාජය විවිධ බෙදීම් හේතුවෙන් ඉරි තලා ගොස් ඇතත්, අලුත් අවුරුද්ද වැනි සැමරුම් සංස්කෘතීන් තුළින් යළි පෙන්වා දෙන්නේ එවන් භේද දුරලා එකමුතුකම, සමගිය හා සහජීවනය සුරැකීමට‌ය. එම සහජීවනය දිරිමත් කරමින් අනෙකා පිළිබඳ සංවේදී වන ආචාරධාර්මික පැවැත්මක් අප තුළම නිර්මාණය කර ගැනීම මෙම අලුත් අවුරුද්දේ අපට පැවරී තිබෙන භාරදුර වගකීමයි.

එසේම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු සිරිත්විරිත්හි පොදු අපේක්ෂාව වන්නේ ජන ජීවිත අලුත් කර ගැනීම හා පසුගාමී චින්තනයෙන් සහ ආකල්පවලින් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කර ගැනීමයි. අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජිවිතවලට නව ඇරඹුමක් වන්නේ අප එලෙස අලුත්වීම මගිනි. රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට මම සියලු දෙනාට ඇරයුම් කරමි.

ඔබ සැමට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන, සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

දිවයින පුරා වැටලීම් දැඩි වෙයි.!

දිවයින පුරා වැටලීම් දැඩි වෙයි.!

මෙම උත්සව සමයේ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති බවත් බීමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 35,000 අධිකයි.