Out of the box (Sinhala)

දුමින්දගේ සානුකම්පිත ඉල්ලීමට වෛද්‍යවරු පස්ස හරවයි.!

දුමින්දගේ සානුකම්පිත ඉල්ලීමට වෛද්‍යවරු පස්ස හරවයි.!

බන්ධනාගාර රෝහලේ සිට සාමාන්‍ය සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් දුමින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ඊයේ (3) පරීක්ෂාවට ලක් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්වයක් නොමැති බවට විශේෂඥ වෛද්‍ය කමිටුවක වාර්තාවක් මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් සකස් කරන ලද වාර්තාවේ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා, දුමින්ද සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව හිසේ ශල්‍යකර්මයකට භාජනය වී ඇති බව පෙන්වා දෙමින් ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන සානුකම්පිතව සලකා ඔහු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදී.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්වයක් නොමැති බවට වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් නිර්දේශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, පෙත්සම්කරුගේ රෝගී තත්වය කිසියම් අවස්ථාවක උත්සන්න වුවහොත්, විනාඩි පහක් ඇතුළත රෝහල් ගත කිරීමට අවශ්‍ය ගිලන් රථ පහසුකම් ඇතුළු සියලු පහසුකම් පැය විසි හතර පුරාම බන්ධනාගාරය සතුව පවතින බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පෙත්සම්කරුට විශේෂ පහසුකම් සැලසීමට යාම තුළින් සෙසු සිරකරුවන්ගේ හා රැඳවියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි. ඔහු අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරමින්, පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණය මෙම නඩුවේ වැඩිදුර කරුණු සලකා බැලීම මැයි මස 08 වැනි දින දක්වා කල් තබා ඇති අතර, එදිනට පෙර විරෝධතා තිබේ නම් ඒවා ලිඛිතව ගොනු කිරීමට වග උත්තරකරුවන්ට නියෝග කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම වී ඇති අතර, මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතී.

රන්මල් කොඩිතුවක්කුට එරෙහි නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි අප්‍රසාදය පළ කරයි.!

රන්මල් කොඩිතුවක්කුට එරෙහි නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි අප්‍රසාදය පළ කරයි.!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව මීට මාස 07කට පෙර නිකුත් කළ ඇතැම් නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දැඩි අප්‍රසාදය පළ කළේය.

මාස 07ක් තිස්සේ මෙම නියෝග ක්‍රියාත්ක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අධිකරණය, අදාළ නියෝග ක්‍රියාත්මක කර ඒ ගැන මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ වාහනයක් ඉස්සර කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් පහරදීම, අඩන්තේට්ටම් කිරීම සහ නීතවිරෝධීව අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් යටතේ මිෂාර රණසිංහ නම් පුද්ගලයකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා අද කැඳවූ අවස්ථාවේදී ය.

අද මෙම පෙත්සම් කැඳවූයේ දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටදී ය.

පෙත්සම විභාගය වෙනුවෙන් අද කැඳවූවද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු වගඋත්තරකරුවන් මෝසමක් මගින් දැනුම් දී තිබුණේ විරෝධතා ගොනකිරීම සඳහා ඔවුන්ට ලැබිය යුතු ඇතැම් ලේඛන තවම අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් අදාළ ලේඛන ලැබීමෙන් පසු විරෝධතා ගොනුකිරීම සඳහා කාලය අවශ්‍ය බවයි. 1 සිට 5 දක්වා වූ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ පසුගිය අගෝස්තු මාසයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අදාළ වාර්තා ලැබී නැති හෙයින් විරෝධතා ගොනුකිරීමට නොහැකි වූ බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝග ලබාදී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ බවයි. මාස 7ක් තිස්සේ ජාතික පොලිස් කොමිෂන් සභාව සහ අනෙකුත් බලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකර පැහැර හැර ඇති බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය. නඩුවේ පළමු වගඋත්තරකාර රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම වින්දිතයන් සහ සාක්කිකරුවන්ගේ කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද වන බවත්, එබැවින් හිතාමතාම අදාළ බලධාරීන් මෙම අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දිගින් දිගටම රජයේ නීතිඥවරියගෙන් ප්‍රශ්න කළ අතර, ඊයේ දිනැතිව එනම් 2025 මාර්තු 03 වැනිදා දිනැතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අධිකරණය වෙත එවා ඇති ලිපියක් ගැන ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළේය. අදාළ කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ගොනුවේ පිටපතක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිපියක් මගින් ඉල්ලා තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය අලුත් කරුණු සොයාබැලීමක් සඳහා නියෝග කළේ 2024 අගෝස්තු මස 08 වැනිදා බවත්, අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව නඩු වාර්තා ඉල්ලා ඇත්තේ මාස 07කට පසුව බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා මෙහිදී අධිකරණයේ අවධානය යොමු කරමින් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ විනිසුරු මඩුල්ල මෙම නියෝග ක්‍රියාත්මක කර, ඒ සම්බන්ධයෙන් මෝසමක් මගින් මැයි 08 වැනිදා වන විට අධිකරණය දැනුම්වත් කරන ලෙස රජයේ නීතිඥවරියට නියෝග කළේය. අධිරණයේ එක් නියෝගයකට අදාළ ව වාර්තාව ලබා දිය යුතු වෛද්‍ය චන්න පෙරේරා මහතා විදේශගත ව සිටින බවත්, ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ මැයි මාසයේ බවත්, ඔහු පැමිණි පසු අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවත් රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළාය. ඒ අනුව අදාළ වෛද්‍යවරයා සමග සන්නිවේදනය කර මැයි මාසයේදී වාර්තාව අධිකරණයේ ගොනුකරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම්කරු පහරකෑමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, ඊට අදාළ ඇඳ හිසපත අතුරුදන්වීම ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් කරන ලෙස අගෝස්තු 08 වැනිදා නිකුත් කළ අධිකරණ නියෝගවල සඳහන් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒ ගැන කරුණු විමසීය. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරිය සඳහන් කළේ අදාළ විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සිදු කර පෙබරවාරි මස අවසන් සතියේ උධෘත නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව අදාළ වාර්තා පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියේ පෙත්සම්කරුට පහරදීම ගැන අපරාධ විමර්ශනයක් සිදු කිරීමට අදාළ ව නිකුත් කර ඇති අධිකරණ නියෝගය මේ වන තෙක් ක්‍රියාත්මක කර නැති බව ද අද අධිකරණයේදී අනාවරණය විය. අදාළ නියෝගය ද ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ නීතිඥවරියට දැනුම් දුන්නේය.

අදාළ නියෝග ක්‍රියාත්මක වීම ගැන සොයාබැලීම සඳහා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 30 වැනිදා කැඳවීමට නියෝග කළ අධිකරණය, පෙත්සම විභාග කිරීම සඳහා ඔක්තෝබර් 21 වැනිදා කැඳවන ලෙස ද නියෝග කළේය.

Author – Medialk

16 වසරක අච්චුවක් වැදුනු හිටපු මහ ඇමති සහ ලේකම්වරිය නිදොස් කොට නිදහස් කරන්න කියයි.!

16 වසරක අච්චුවක් වැදුනු හිටපු මහ ඇමති සහ ලේකම්වරිය නිදොස් කොට නිදහස් කරන්න කියයි.!

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීම මත අධිකරණට විසින් නියම කළ වසර 16 බැගින් සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බව එම අභියාචනා පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටී.

ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

නාමල්ගේ වලංගුභාවය හොයන්න අධිකරණය රහස් පොලීසියට පවරයි.!

නාමල්ගේ වලංගුභාවය හොයන්න අධිකරණය රහස් පොලීසියට පවරයි.!

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (03) රහස් පොලිසියට නියෝග කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නිතීඥ භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

රහස් පොලිසිය මගින් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

නාමල් රාජපක්ෂ මහතා නීතිඥ භාවය ලබා ගැනීමට අදාල ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේ දී වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

වාහන ලෙඩ කරන්නන්ට එරෙහිව අධිකරණ තීන්දුවක්.!

වාහන ලෙඩ කරන්නන්ට එරෙහිව අධිකරණ තීන්දුවක්.!

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත්තේ වාහන ලෙඩ කරන ව්‍යාජ ‘ස්පාර්ක් ප්ලග්’ වහාම පොලිස් භාරයට ගන්නා ලෙසයි.

මහෙස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට එලෙස නියෝග කර ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ කොළඹ, පංචිකාවත්තේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසල් 4කට එරෙහිව පැවැරූ පැමිණිලි 4ක් සලකා බැලූ අවස්ථාවේදීය.

ප්‍රකට වෙළෙඳ නාමය යටතේ ස්පාර්ක් ප්ලග් බෙදාහරින සමාගමක් විසින් පවරන ලද පැමිණිලිවලට අදාළ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත්කර තිබේ.

පැමිණිකාර සමාගම් විසින් එහිදී පෙන්වා දී ඇත්තේ සිය කීර්ති නාමය භාවිත කරමින් විත්තිකාර සමාගම් අයුතු ලෙස ලාභ ලබමින් සිටින බවත්, එමගින් පාරිභෝගිකයන්ගේ වාහනවල දෝෂ හට ගැනීමට හැකි බවත්ය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින්, ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් අනුකරණය කරමින් ව්‍යාජ ස්පාර්ක් ප්ලග් අලෙවි කරන විත්තිකාර ආයතනවල භාණ්ඩ බුද්ධිමය දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පංචිකාවත්තේ වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනවල ව්‍යාජ ස්පාර්ක් ප්ලග් පොලිස් භාරයට ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හිසට කොන්ක්‍රීට් දාන ව්‍යාපාරයක් අල්ලයි.!

හිසට කොන්ක්‍රීට් දාන ව්‍යාපාරයක් අල්ලයි.!

පාරිභෝගික අධිකාරිය විසින් සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වලටා තිබේ.

වැටලීමෙන් පසු එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බවද පැවසෙයි.

වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හඳුන් විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රමේෂ් පතිරණට අන්දයි.!

හඳුන් විමල්ගේ කලිසම ඔලුවෙන් ගලවා රමේෂ් පතිරණට අන්දයි.!

අලිමංකඩ නව ලුණු කර්මාන්තශාලාව ආරම්භ කිරීමත් සමඟ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිය නිල යූටියුබ් නාලිකාවේ “මගේම කලිසම අගේට ඇඳගෙන ඌ උගේ වගේ යනවා.” ‘අලිමංකඩ ලුණු’ ඇත්ත කතාව සාක්ෂි සහිතවම විමල් හෙළිකරයි.!” යන මැයෙන් පලකර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දැක්වීය.

අමාත්‍යවරයා පැවසූයේ අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍යවරයක වූ විමල් වීරවංශ මහතා කිසිදු දායකත්වයක් ලබාදී නොමැති බවත් ඔහු විසින් සිදු කරනා ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම දේශපාලන කුහකත්වය සහ ඊර්ෂ්‍යාව මත සිදුකරන ප්‍රකාශයන් පමණක් බවයි.

විමල් වීරවංශ වැනි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන අනාතයින් සඳහා පිළිතුරු ලබාදිය යුතු නොවූවත් මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් හරහා ජනතාව මුළා කිරීම වැළැක්වීම පිණිස මෙම ප්‍රකාශය සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ වෙනත් පුද්ගලයින් විසින් සිදුකළ ව්‍යාපෘති සම්බන්ධව ලකුණු දා ගැනීමේ හීන මානසිකත්වයක් තමා ඇතුළු රජයට නොපවතින බවත් මේ සම්බන්ධයෙන් ගෞරවය හිමි විය යුත්තේ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට බවත් ය.

මෙම කර්මාන්ත ශාලාවට අයත් යන්ත්‍ර සූත්‍ර 2023 වසරේ ආනයනය කිරීමට කටයුතු කර තිබුණි එවකට හිටපු අමාත්‍යවරයෙකු රමේෂ් පතිරණ අමාත්‍යවරයා විසින් බැවින් ඔහුට මේ සම්බන්ධව ගෞරවය හිමි විය යුතු නමුත් විමල් වීරවංශයට මෙහි කිසිදු කටයුත්තකට සම්බන්ධ වී නොමැති අතර දේශපාලනිකව තම පක්ෂය සහ කණ්ඩායම සමඟ පවතින දේශපාලන ඉරිසියාව මත සිදුකරනා ප්‍රකාශයන් සම්බන්ධයෙන් අනුකම්පා කරනා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පුළුවන්නම් හිරේ දාන්න.. නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්.!

පුළුවන්නම් හිරේ දාන්න.. නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්.!

තමන් වැරදි කොට නැති බවත්, පුළුවන් නම් තමන් හිරේ දමන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝගයක් සිදුකළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“ඡන්දෙ ගන්න ජනතාව රැවැට්ටුවා දැන් ජනාධිපතිතුමා වේදිකාවට නැගලා අත්අඩංගුවට ගන්න ඒවා ගැන කියනවා. දැන් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකට කියන්න තියෙන දේ ජනාධිපතිතුමා කියනවා. අධිකරණයෙන් දෙන්න ඕන නඩු තීන්දු මැති ඇමතිවරු දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කරන්න ඕන වැඩේ ඇමතිවරු කරනවා. ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට බනිනවා. ජනාධිපතිවරයා පොලිසියට බනිනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වෙලා තියෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තව එකක් කියනවා. සමස්ත ආණ්ඩුවම අද අච්චාරුවක් බවට පත්වෙලා තියෙනවා.

තමන් කියන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ද යන්නෙ කොහෙද කියලවත් තේරුමක් නැතිව රාජ්‍ය පාලනය කරන්න උත්සාහ කරනවා. දැන් මාස හයක් ගිහිල්ලා. අපි මුල ඉඳන් කිව්වා අපි සාධාරණ කාලයක් දෙනවා. මොකද අපිට අරගල කරලා වෙඩි තියලා ගිනි තියලා මරලා ආණ්ඩු හදන්න සන්නද්ධ හමුදාවක් නෑ. අපි චන්දෙන් ආණ්ඩු පෙරලන්නෙ. ඒකත් දැන් කියනවා හිරේ දාලා හිරේ ඇතුලේ පාර්ලිමේන්තුව කැඳවන්න වෙයිලු. කමක් නෑ දාලා බලන්න. එහෙම හිරේ යන්න බය නෑ අපි. යහපාලන ආණ්ඩුවත් ඔහොම තමයි බලයට ආවේ අපිව දැම්මා. තුන් පාර හතර පාර ඇතුළට දැම්මා. අපි මූණ දුන්නා අපි අධිකරණයට මුහුණ දෙනවා” මොකද අපි වැරදි කරලා නෑ.

SF අවංක වෙයි.!

SF අවංක වෙයි.!

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ පොරොන්දු දේශපාලනයෙන් දිගු කළක් බැට කෑ ජනතාව මෙවර පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් පවතින රජයටම ගමේ බලයත් ලබාදෙන බවට තමා විශ්වාස කරන බවයි.

ඔහු මේ බව පැවසූවේ කඩවත ඉන්ද්‍රා හෝටලයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේ, රටපුරා සිදුවන මිනිස් ඝාතන රැල්ල මැඩපැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ රජයේ දුර්වල පාලනයේ වරද නිසාද යන වගයි.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,

“රටේ ජාතික ආරක්ෂාව කඩවැටිලා කියලා විවිධ අන්දමින් විවිධ වාසි බලාගෙන විරුද්ධ කණ්ඩායම් මත පළ කළත් රට තුළ එවැන්නක් සිදුවී නැහැ. ආයුධ සන්නද්ධ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව සැපයීමට තරම් අනතුරුදායක තත්ත්වයක මේ රට තවම පත්වෙලා නැහැ. නමුත් සිවිල් සමාජයේ සමහර පිරිසක් ගිනි අවි භාවිත කරන්න පටන් අරන්. ඒ නිසා රටේ මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු කාලයක් අපි ගතකරමින් ඉන්නවා. ඒක රටේ ජාතික ආරක්ෂාව කඩා වැටීම නිසා ඇතිවූ දෙයක් නම් නෙවෙයි. පෞද්ගලික කෝන්තර වලටත් අසල්වැසියාට කොකා ගැස්සීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා කියන ගිණුමට බැර කරන්න බැහැ.

ටී 56 වගේ ගිනි අවි සිවිල් සමාජය ඇතුළේ භාවිත වෙනවා. පෞද්ගලික ආරවුල් මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී මත්පැන් පෙරීම, ණය ගනුදෙනු, පැරණි ආරවුල්, අනියම් සබඳතා, ප්‍රේම සම්බන්ධතා මේ වගේ සුළු සිදුවීම්වලට වෙඩි උණ්ඩෙන් පිළිතුරු දෙනවා. ලෙයට ලෙය පළිගන්නවා. මුදලට කොන්ත්‍රාත් ක්‍රමේට සිදුකරන මිනිස් ඝාතන. ඒ ඇරුනම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ. මම ආණ්ඩුවට කඩේ යනවා නෙවි.”

අති දක්ෂ පෞද්ගලික පොලිස් විමර්ශකයෙක් මිලදී ගන්න ජනතාවට අවස්ථාව.!

අති දක්ෂ පෞද්ගලික පොලිස් විමර්ශකයෙක් මිලදී ගන්න ජනතාවට අවස්ථාව.!

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිල සුනඛයන් 42 දෙදෙනකු වෙන්දේසි කිරීමට එම කොට්ඨාසය පියවරගෙන තිබේ.

එම වෙන්දේසිය ලබන 05 වැනිදා මහනුවර අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත්කර ඇත.

පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසන්නේ වෙන්දේසි කරනු ලබන සුනඛයන් 42 දෙනාම නිල සුනඛ පුහුණුව ලැබ පොලිසියට සේවා සපයා සේවයෙන් ඉවත්කර ඇති සුනඛයන් බවයි.

මේ අනුව බේල්ජියන් මැලිනොයිස් වර්ගයේ නිල සුනඛයන් 13 ක්ද, ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ නිල සුනඛයන් 10 දෙනකුද, ඉංග්ලිෂ් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 02 දෙනකුද, රොට්වයලර් වර්ගයේ නිල සුනඛයන් 1ක්ද, ලැබ්රඩෝර් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයන් 06 ක්ද, ඩොබර්මන් පින්ස්වර් වර්ගයේ නිල සුනඛයන් 2ක්ද, කොකර් ස්පැනියල් වර්ගයේ නිල සුනඛයන් 03ක්ද, ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඇලස්කන් මැලමුට් වර්ගයේ නිල සුනඛයෙක්ද, බුල්මස්ටිෆ් වර්ගයේ නිල සුනඛයෙක්ද, ඩැල්මේෂන් වර්ගයේ නිල සුනඛයෙක්ද, ටෝයි පූඩ්ල් වර්ගයේ නිල සුනඛයෙක්ද වෙන්දේසි කිරීමට නියමිතය.

ඒ අතරින් පිරිමි සුනඛයන් 26 දෙනකු වන අතර 16 ක්ම ගැහැනු සතුන් වන බව වැඩිදුරටත් සඳහන්.