පූර්ණ ආබාධිත සහ මියගිය රණවිරුවන් පිරිසකට අහිමි වූ දීමනා ලබාදීම සඳහා රජයේ අවධානය.!

බඳවා ගැනීමේ චක්‍රලේඛය අනුව මෙරට යුද්ධයේදී දිවි පිදූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ඥාතීන්ට සහ යුද්ධයේදී පූර්ණ ආබාධිත වූ සිවිල් ආරක්‍ෂක බලකා සොල්දාදුවන්ට වැටුප් සහ දීමනා හිමිවූයේ වයස 55‍ සම්පූර්ණ වන තෙක් පමණි.

එවන් පසුබිමක ආර්ථික පහසුතාවයන්ට පත්ව සිටිනා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කර මේ වනවිට පූර්ණ ආබාධිත තත්වයට පත්වී ඇති සොල්දාදුවන් සහ මියගිය සොල්දාදුවන්ගේ ඥාතීන්ට අහිමි වී ඇති වැටුප් සහ දීමනා ඔවුනට ලබාදීම සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, මෙම දීමනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එය ලබාදීමට ජනාධිපතිවරයාගේද ඉහළ අවධානය යොමුවී ඇති බවයි.

එම කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල්  රොෂාන් බියන්විල මහතාද කටයුතු කරමින් සිටිනා බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement