ජනපතිවරණය කැඳවීම බදාදා.. පොලිස්, තැපැල්, මුද්‍රණ සියල්ල සීරුවෙන්.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වැනිදාගෙන් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ජූලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ 05කට ප්‍රමාණවත් තරම් ලිපි ද්‍රව්‍ය මේ වනවිට රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත දැනුම්දී ඇති අතර පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී මුද්‍රණ වියදම හතර ගුණයකින් වැඩිවී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසයි.

එමෙන්ම, ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ මේ වනවිට සැළසුම් කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලුම කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටුකිරීමට තැපෑලද සූදානමින් සිටිනා බව තැපැල්පතිවරයා දැනුම්දුන් බවයි.

අදාල රාජ්‍යය අංශ ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරණය සඳහා පවතින පූර්ණ සූදානම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close