අභියාචනාධීකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ දිනයේ (14) මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 8 මාස හයක අධීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාග කෙරිණි.
එම පෙත්සම ගොනුකර තිබුනේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්. පී. බුද්ධරගේ යන අය විසිනි.
නීතීඥ නිල් ශාන්ත සිරිමාන්න පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අවධාරණය කර සිටියේ නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස 6ක අධීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් නියමයන් උල්ලංඝනය කර ඇති අතර එම එන්නත් සඳහා මාස දෙකක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ගෙන ඇති තීරණය හේතුවෙන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවයි.
කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළේ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බවත් ය.
පෙත්සම විභාගය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවා දායකයින් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති බවත් රෝගීන්ට නිර්දේශ කරනා ඖෂධ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන අතර එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබවලට මුහුණ දුන් අවස්ථාද ඉතිහාසයේ ඔනෑ තරම් පෙන්වා දියහැකි බවයි.
එබැවින් මෙම ඖෂධ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය දරන ස්ථාවරය සම්බන්ධයෙන් තමන්ද එකඟවන බවත් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටිනා සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ යම් ඖෂධයක් සඳහා මාස හයක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කරනා ඖෂධයක්නම් පමණක් බවත් මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාල පෙත්සම වැඩිදුරටත් විභාගය සඳහා ජූනි මස 20 වනදා දක්වා කල්තැබීමට තීන්දු කළේය.