ඉතාම සුක්ෂම ලෙස විදෙස් රටවලින් මුදල් ලබාගෙන ශ්‍රී ලාංකික ළමුන් නීතිවිරෝධී ලෙස යැවීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
මෙලෙස ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම යුවළ සුක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකර ඇති බවද සදහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකාර යුවළ පළමුවෙන්ම එරට මව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර සකසා දීම සඳහා ඔවුන් රැගෙන පැමිණෙන ලෙසට පෙළඹවීමක් කර ඇති බවද අණාවරණය වී ඇත.
එරට දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත් රැගෙන පැමිණෙන ලෙසද දැනුම්දී ඇති අතර අනතුරුව එම දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇත.
පසුගියදා මෙම යුවළ මෙලෙස දරුවෙකු වංචා සහගත ලෙස යුරෝපය වෙත යැවීම සඳහා උත්සාහ ගත් අවස්ථාවකදී බලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම අනාවරණය සිදුව ඇති බවද සදහන් කරයි.
අත්අඩංගුවට ගත් එම යුවළ විසින් සාර්ථකව ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවල් සඳහා ජාවාරම් සිදුකර ඇති බව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එරට බලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 සහ 37 හැවිරිදි වියේ පසුවන තරුණ යුවළක් බවත් එක් ශ්‍රී ලාංකික දරුවෙකු යුරෝපයට ජාවාරම් කිරීමට සඳහා යුරෝ 30,000ත් 50,000ත් අතර මුදලක් ලබාගෙන ඇති බවද හෙළිවී ඇත.