බාධා කරන හාම්පුතුන්ට මුහුණ දෙන්න සුදානම්.!

වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් සදහන් කරයි.

අමාත්‍ය ජීවන් තොන්ඩමන් තවදුරටත් සදහන් කළේ,

” කාලයක් තිස්සේ සාකච්ඡා කළත් වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගැසට් කළා. දැන් එම ගැසට් නිවේදනයට අනුව වතු සමාගම් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට අප සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ යුතුයි.

වතු සමාගම් මීට ඉහත සඳහන් කළේ වතු කම්කරු ජනතාවගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බවයි. නමුත් රජය වතු කම්කරු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වුණා. එයින් පෙන්නුම් කරන්නේ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතුව තිබූ බවයි.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement