වසර 88ක වාර්තාව බිඳ දැමූ මැදමුලනේ ලොකු පුතා.! [උණුසුම කතුවැකිය]

මෙවර මහමැතිවරණය සඳහා කිසිදු රාජපක්ෂවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මැතිවරණ කොට්ඨාසක් නියෝජනය කරමින් තරග කිරීමට ඉදිරිපත්ව නොමැත.

ඒ 1936 සිට අවුරුදු 88ක් පුරා අඛණ්ඩව පැවති වාර්තාවක් බිඳ දමමිනි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ ඡන්ද පත්‍රිකාවකට ඇතුළත් වී නැත්තේ වසර 54කට පසු වීමත් සුවිශේෂී කරුණකි.

1936 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ග්‍රාමය ප්‍රමුඛ කොටගනිමින් ඇරඹූ රාජපක්ෂ පවුලෙන් ප්‍රථම වරට එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන D.A. රාජපක්ෂගේ සොයුරා වන D.M. රාජපක්ෂ මහතායි.

මහින්ද රාජපක්ෂගේ පියා වන D.A.රාජපක්ෂ ඔහුගේ ඇවෑමෙන් 1945දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ අතර ඉන් පසු නිදහස් ශ්‍රී ලංකාවෙ ප්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස හම්බන්තොට ජනතා මනාපයෙන් පත්වන්නේද D.A.රාජපක්ෂ මහතාය.

ඉන් අනතුරුව අඛණ්ඩව රාජපක්ෂවරු රැසක් හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණියහ. ඒ අතර අතර මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා නිරූපමා රාජපක්ෂ වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය කථානායකවරයෙකු, කථානායකවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු, මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ද රාජපක්ෂ පවුලෙන් බිහිව ඇත

රාජපක්ෂ පවුලේ ප්‍රසිද්ධ චරිත අතරින් හම්බන්තොටින් තරග වැද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ එකම අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ වන නමුත් ඔහු 2010 මහමැතිවරණයේදී බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟකර වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කෙසේවෙතත් මෙවර මහමැතිවරණයට නාමල් රාජපක්ෂ ඉදිරිපත්වන්නේ පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් වීම සුවිශේෂී වෙයි.

Loading