අත්අඩංගුවට ගත් සැකකරුවන් සැක සහිත ලෙස මිය යාමේ සිදුවීම් වැලැක්වීමට ගත යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර අනතුරුව පොලිස්පතිවරයා විසින් මේ වනවිට මාර්ගෝපදේශ මාලාවක් සකස් කර සියළු පොලිස් නිළධාරීන් වෙත ලබාදී ඇත.
අත්අඩංගුවට ගත් කිසියම් සැකකරුවෙකු, විමර්ෂණ සදහා යයි කියමින් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම්, අදාල එම සැකකරු පිටතට රැගෙන යන දර්ශන වීඩියෝගත කිරීම සදහා පොලිස් නිළධාරියෙකු අනුයුක්ත කළ යුතුය.
සැකකරුවෙක් පොලිසියට ලබා දෙන පාපොච්ඡාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගැනීමට ඇති ඉඩ අවකාශ අවම බව පොලිස්පතිවරයා සියළුම පොලිස් නිළධාරීන් වෙත නියෝග කර ඇති අතර සැකකරු අපරාධයක් සිදුකර ඇති බව පෙනී යන්නේ නම් ඊට අදාල සාක්ෂි එක්රැස් කර ගැනීම පොලිස් නිළධාරීන්ගේ වගකීමක් බවද සදහන් කරයි.
එම සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් හැකිතාක් වළකින ලෙසත් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පොලිස් නිළධාරීන් පිරිසක් යෙදවිය යුතු බවද පොලිස්පතිවරයා නිලධාරීන්ට සදහන් කරයි.
සැකකරුට ඔහුගේ පවුලේ ඥාතීන් හෝ නීතීඥයෙකු හමුවීම සදහා ඉඩ ලබා දෙන ලෙසත්, සැකකරුවන්ට හිමිවන අයිතීන් මොනවාද යන්න සියල්ලන්ට හොදින් පෙනෙන සේ සිරමැදිරි ආසන්නයේ ප්‍රදර්ශනය කරන ලෙසත් පාතාලයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිටීනම්, ඔහු හෝ ඇය සම්බන්ධයෙන් සෑම පැය භාගයකටම වරක් ලොග් සටහනක් තබා තිබිය යුතු බවද පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් නිළධාරීන්ට නියෝග කර ඇත.
පාතාලයට සම්බන්ධ එවැනි සැකකරුවෙකු පොලිසියෙන් පිටතට රැගෙන යන්නේ නම් අදාල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම්දිය යුතු බවත් එම සැකකරුවන් පොලිස් නිළධාරීන් සතු ආයුධ පැහැර ගැනීමට දරන උත්සාහයන් වැළැක්වීමටද පොලිසිය කටයුතු කළ යුතු බවද පොලිස්පතිවරයා සියළු පොලිස් නිළධාරීන්ට නියෝග කර ඇත.