ප්‍රසන්න රණවීර පොලීසි යයි.. ගුටි කෑ සුළු සේවකයා ආගිය අතක් නෑ.!

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (මැයි 17) ප්‍රකාශයක් ලබා දීම සඳහා ගුවන් තොටුපොළ පොලිසියට පැමිණි බව වාර්තා වේ. ඒ අමාත්‍යවරයාට කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් පසුවයි.

අමාත්‍යවරයා උදෑසන 10:45ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ සිටි අතර පැයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව උදෑසන 11:40ට පමණ පිටව ගිය බව ගුවන්තොටුපොළ පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරනා මන්ත්‍රීවරයෙකු ලෙස තමන් අතින් එදා නුසුදුසු ක්‍රියාවක් සිදු වූ බවයි.

ඉකුත් මැයි 14 වන දා තම බිරිඳ කටුනායක ගුවන්තොටුපළ වෙත කැටුව පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි රැගත් සිය ආරක්ෂක අංශ නිලධාරීන් සමග ගුවන් තොටුපළට ඇතුළු වීමට උත්සහ ගත් අවස්ථාවේදී එය වැලැක්වීමට උත්සාහ දැරූ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ බහින්බස්වීමක් සිදු වී තිබේ.

එමෙන් ම, ඔහුගේ බිරිඳගේ ගමන් මලු කිහිපයක් රැගෙන ගිය පෝටර්වරයෙකුට ද රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපළ තුළදී පහර දීමක් සිදු කර ඇත.

මේ අතර, පහර කෑමට ලක් වූ බව කියන ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement