ආදායම් එකතු කිරීමට සහ මුදල් බෙදා හැරීමට නව නීතියක්.!

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් නව නීති සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේදී නීතියක් ලෙස ගෙන එන බව ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා.

එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළ යුතු වෙනවා.

ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළ යුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා.”

අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement