සරුංගල් යැවීමේදී ඇති වු ආරවුලක් දුරදිග ගොස් 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතක් කඩුවකින් පහරදී සම්පුර්ණයෙන්ම වෙන්කල පුවතක් අද (26) දින මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
සරුංගල් ආරවුල හේතුවෙන් කඩුවකින් පහරදී අතක් කපාදමා පාසල් සිසුවාට බරපතල තුවාල සිදු කල එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මාතර මුලස්ථාන පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් ඇති අතර පවුලේ ඥාතීන් එක්වී කැපී ගිය අතේ කොටස අයිස් වල දමා හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන ගොස් ඇත.
අනතුරුව පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා අද සවස මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.