By unusuma.lk on
(LK time)පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පවසයි.
ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපාදුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදාකරලීම බවද මැල්කම් කාදිනල් හිමිපාණන් පවසයි.
පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා 90 දශකයේ සිට නිර්මාණ කළ බවත් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවද මැල්කම් කාදිනල් හිමිපාණන් පවසයි.
මැල්කම් කාදිනල් හිමිපාණන් සදහන් කළේ,
“අරගලය නැමති ජනතා නැගී සිටීමෙන් පසුව ස්ථාපිත වූ රජය ද බොහෝ විට ක්‍රියා කළේ, මේ වියරුවේ ක්‍රමවේදය හරහාය. පැවති රජයන් සමස්තයක් ලෙස ගත් කළ 1978න් පසුව බොහෝ විට ක්‍රියාකළේ, ඒකාධිපති බලතල තමන්ට රිසි ලෙස භාවිත කරමිනි.
මේ අයගේ දරුණුම ක්‍රියාදාමය වුයේ, රටේ නීතිය තමන් කැමති ලෙස යොදවා ගන්නට නිරිලජ්ජිතව ක්‍රියාකිරීමයි. උසාවිය මර්දනයට හා උසාවියෙන් ලබාදුන් තමන්ට අවාසි සහගත තීන්දු තීරණ අවතක්සේරුවට භාජනයට වන අයුරින් ක්‍රියාකරන අයුරු අපි දුටුවෙමි.
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහිවු ඒකාධිපති වියරුව තුළ තමන්ට රිසි ලෙස පාර්ලිමේන්තුවේ තමන් සතු අසීමිත බලය හෘද සාක්ෂියකින් තොරව ඔවුන් අවභාවිත කළ රටාවක් රට තුළ බිහිවුණි.
මේ රටේ දැන් පවතින සියලුම ව්‍යවසනයන්ට හේතුවෙන් ඒකාධිපති ව්‍යවස්ථාව අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙසද අපේ රටේ නුතන ප්‍රජාතන්ත්‍රවාදය ලෙයින් තෙත් කළ භීෂණ සංස්කෘතියේ උල්පත ලෙසද අවනීතියට ඉඩදුන් අසාධාරණ ව්‍යුහයන්ගේ සංක්ෂිප්තය ලෙසද සැලකිය හැකිය.
එනිසා එම ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි දුෂණයට, භීෂණයට හා අවනීතියට කිසිදු ඉඩක් ලබානොදෙන සියලු ජන කොටස් එක මවකගේ දරුවන් මෙන් එකතු කරන්නට ඉඩ සලස්සන්නට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.”
77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) දින බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් මැල්කම් කාදිනල් හිමිපාණන් මේ බව පැවසූහ.