Out of the box (Sinhala)

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

ආණ්ඩුව රජවරු බිමින් තියද්දී, විපක්ෂය රජ මන්දිර කරට ගනී.!

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කෙතරම් උත්සාහ දැරුවත් ජනතාව මත පටවා ඇති හිටපු ජනාධිපතිවරුන්, ආර්යාවන් හා ඇමතිවරුන් නඩත්තු කිරීමේ බරෙන් ජනතාව නියත වශයෙන් නිදහස් කිරීමට කටයුතු කරනා බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ “මහින්ද රාජපක්ෂගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය” මැයෙන් පක්ෂ භේදයකින් තොරව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සංසදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.

මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් පමණ වන වර්ග අඩි 30,554 ක පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිවස අතීතයේදී කුඩා එකක් බවත් පසුව විවිධ ඉඩම් කොටස් එකතු කර මේ වනවිට අක්කරයක පමණ ඉඩමක මෙම නිවස ගොඩ නගා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ පමණක් මෙම නිවස අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 430 කට වඩා අධික මුදලක් වැය කර ඇති බවත් එහි අලුතින් විදුලි සෝපාන යන්ත්‍ර පවා සවිකර ඇති බවත් ය.

නිවසින් ඉවත්වන ලෙස පවසනකම් නොසිට ඉවත්ව යන ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

විජේසිරිගේ බාල චෝදනාව පාරාවළල්ලක් වෙයි.. ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක්.!

විජේසිරිගේ බාල චෝදනාව පාරාවළල්ලක් වෙයි.. ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක්.!

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තුවේ කැන්ටිම ක්ලීන් කරනා බවත්, ප්‍රමාද වුවහොත් කෑමට ඉතිරිවන්නේ දංකුඩ පමණක් බවත් යැයි කියමින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්ඩු පාර්ශවය විසින් තීරණයක් ගෙන තිබේ.

එම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බවයි.

ඔහු කියා සිටියේ අදාළ යෝජනාවට අද (23) දිනයේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි. 

ඒ අනුව පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ලබාගන්නා සියළුම ආහාර පාන සඳහා ඊට අදාළ වෙළඳපොල මිල ප්‍රමාණයන් අයකිරීමට කටයුතු කරනා බවද ඒ අනුව ආහාර වේලක් සඳහා රුපියල් 2000-3000ක් අතර මිලක් අයවිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට පාර්ලිමේන්තු ආහාර වේලක් සඳහා අයකරන මුදල රුපියල් 300ක් වන අතර එය 2022 වසරේ සිට ක්‍රියාත්මකයි.

දේශපාලනය ප්‍රමිතිගත කිරීමේ පළමු ආදර්ශය ක්‍රියාත්මක වෙයි.!

දේශපාලනය ප්‍රමිතිගත කිරීමේ පළමු ආදර්ශය ක්‍රියාත්මක වෙයි.!

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් උපදෙස් මාලාවක් ඊයේ (22) නිකුත් කර තිබුණි.

එමගින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර ඇති අතර ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ එම කාර්යාල සේවා නියුක්තිය පහත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතු බවයි.

එම උපදෙස් මාලාව හරහා අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව, ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය, අමාත්‍යවරුන්ට ලබාදෙන දුරකථන සම්බන්ධතා හා දුරකථන වියදම් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණුවලට අනුව සියලු ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

රෑට ඇවිදින යකඩයක් සමඟ සිවිල් ආරක්ෂකයෙකු කොටු වෙයි.!

රෑට ඇවිදින යකඩයක් සමඟ සිවිල් ආරක්ෂකයෙකු කොටු වෙයි.!

කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි යන චෝදනාව මත රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ, ටි 56 ජීව උණ්ඩ 220 ක්, GPMG වර්ගේ ගිණි අවි සඳහා යොදන ජීව උණ්ඩ 01ක්, ගුවන් යානා නාශක අධි සඳහා යොදන ජීව උණ්ඩ 01 ක් හා මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියකි.

සැකකරු සේවය කර ඇත්තේ, පොළොන්නරුව කඳවුරට අනුයුක්ත වැලිකන්ද පොලිස් ස්ථානයේ බව සඳහන් වේ.

සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව ඔහු පදිංචි වැලිකන්ද, රුහුණු කෙත නිවස ආසන්නයේ සුභ සාධක සමිතියට අයත් අත්හැර දැමූ ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබියදී මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මරු කටවල් වලට වැට බැඳෙන දැවැන්ත ආයෝජනයකට ආණ්ඩුව සැරසෙයි.!

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ගැටළුවක්ව පවතින රිය අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව දිනකට 5-10 අතර අගයක පවතී.

අද (22) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දැක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූවේ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව බහුල වශයෙන් එවැනි අනතුරු සිදුවන ස්ථාන හඳුනාගෙන ඊට පිළියම් යෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි.

“Black Spots” ලෙසෙන් හඳුන්වන මහාමාර්ග පද්ධතියේ ඇති එවැනි අනතුරුදායක ස්ථාන බොහොමයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් බිලියන ගණනක ආයෝජනයන් අවශ්‍ය ස්ථාන කිහිපයක් හැර අනෙකුත් සියළුම ස්ථාන කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් මෙරට සිදුකළ සංචාරය අතරතුර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය.

එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද එහි අවධානය යොමු විය.

කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම් ක්‍රියාමාර්ග ගැනීමටද අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම දස වැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතු වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවර්යන්ගේ සංසදයේ සභාපතිවරය එහිදී ප්‍රකාශ කළාය.

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

පසුගිය දිනක හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන් අතර ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානය යොමුවිය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්ම නිවසින් ඉවත්විය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

මේ පනතේ ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුයි පනතේ තියෙනවා.

මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්. එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සහ සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා.”

“මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා, යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා, සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත පරිදි ආයුධ සොයාගත් බවයි.

T56 ගිනිඅවි 7ක්
පිස්තෝල 10ක්
රිවෝල්වර් 14ක්
බෙහෙත් කොටන තුවක්කු 461ක්
බෝර 12 ගිනිඅවි 58ක්
ගල්කටස් 13ක්
රිපීටර් 2ක් 

මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඔහු පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

System අලුත් වෙයි.. නඩු තැපෑලෙන් එයි.!

System අලුත් වෙයි.. නඩු තැපෑලෙන් එයි.!

ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර එම රථවාහන රියදුරන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නව තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාම සදහා නව මෘදුකාංගයක් Prima Management Services (pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනැමීම අද (21) සිදු විය.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ CCTV දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. පී. ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු විය.

කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCTV කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2024 වසරේ පෙබරවාරි මස ආරම්භ කළේය.

එම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර මෙම නව මෘදුකාංගය හරහා එම කටයුතු කාර්‍යක්ෂම කිරීම පොලීසියේ අරමුණයි.

පොලීසියේ සැබෑ වෙනසක්.. ඇල්මැරුණු ලොක්කන්ට පාඩමක්.!

පොලීසියේ සැබෑ වෙනසක්.. ඇල්මැරුණු ලොක්කන්ට පාඩමක්.!

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් පුවතක් වූ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධිය වූ පොලිස් වසමේ සිටි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව විනය පියවර ගැනීමට කටයුතු කර ඇත.

අදාළ දිනයේ පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමටත් පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වැඩ තහනම් කර ඇත්තේ, සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහ මහතාගේ වන අතර එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ මහත්මියට කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩ පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝග මත සිදුකළ විමර්ශනයක් මත මෙම විනය පියවර ගෙන තිබේ.

We are happy to invite you.