By unusuma.lk on
(LK time)ඊයේ (27) පාරිලිමේන්තුවේදී සභානායක බිමල් රත්නායක මහතා පැවසූවේ හිටපු කථානායකවරයාගේ නිල නිවසේ කාර්ය මණ්ඩලය ලෙස 70ක පිරිසක් යොදවා තිබී ඇති බවයි.
ඔහු 2024 වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 24 දක්වා මාස 9ක කාලයක් ධුරය දැරූ සමයේ වාහන 9ක් සඳහා රුපියල් මිලියන 33ක ඉන්ධන භාවිතා කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම හිටපු නියෝජ්‍ය කථානායකවරයා වාහන 6ක් භාවිත කර ඇති බවත් ඔහුගේ ඉන්ධන වියදම ම්ලියන 13.5ක් බවත් සභානායකවරයා පැවසීය.
මසකට ලක්ෂ 40 ක ඉන්ධන යනු දිනකට රුපියල් 133,000ක පමණ වියදමකි, ඉන්ධන ලීටරයක් රුපියල් 350ක් සේ සලකන්නේ නම් දිනකට ලීටර 380ක ඉන්ධන පරිභෝජනයකි.
එම කරුණු අනාවරණය කරමින් සභානායකවරයා වර්තමාන කථානායකවරයා ඇතුළු පිරිසගේ පසුගිය මාසයේ වියදම් විස්තරද සභාගත කලේය.
ඔහු පැවසුවේ පසුගිය ජනවාරි මාසය තුළ වර්තමාන කථානායකවරයාගේ තෙල් වියදම ලක්ෂ 218,000ක් බවත් වර්තමාන නියෝජ්‍ය කථානායකවරයාගේ තෙල් වියදම රුපියල් 23,000ක් බවත් සහ වර්තමාන නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමියගේ තෙල් වියදම 81,000ක් පමණක් බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායකවරයා,
“හිටපු කථානායකවරයාවූ මහින්ද යාපා අබේවර්ධනගේ නිළ නිවසේ කාර්‍යමණ්ඩලය 70 යි. 2024 ජනවාරී 01 සැප්තැම්බර් 24 දක්වා ඔහු පාවිච්චි කළ වාහන ගණන 9 සඳහා තෙල් වියදම රුපියල් මිලියන 33 යි. එක් මාසයකට ලක්ෂ 40 ක තෙල් ගහලා. ඒ කාලය තුළ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ වාහන 6 කට ලක්ෂ 135 ක තෙල් ගහලා”
එමෙන්ම හිටපු කථානායකවරුන් නියෝජ්‍ය කථානායකවරුන් පාර්ලිමේන්තුවේ ආහාර පාන පවා හොරට බිල් දමා ගෙදර ගෙන ගොස් ඇති බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.