By unusuma.lk on
(LK time)වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කරමින් සදහන් කළේ, නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
ජල මාපක වල විශ්ලේෂණය අනූව පැය 48ක් දක්වා කාලය තුල වෙන්ගලචෙඩ්ඩිකුලම් මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පිටාර තැන්නට අයත් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එනිසා මල්වතු ඔය අවට පහත් බිම් හරහා වැටී ඇති දැනට යටවී පවතින මාර්ග දැඩි අවධානම්කාරී වනු ඇති අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තවද ගල් ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන ගල් ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව දැනුම් දී ඇත.
ඒ හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වල පිහිටි අඩ්ඩාලච්චේනෙයි, අක්කරෛපත්තු, අම්පාර, දමන, එරාගම, මඩුල්ල, නින්දවූර් සහ සමන්තුරෛ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.