එජාප ජාවාරම්කාරයෝ සජබට වද්දගන්නේ නෑ.. සජබ එජාබ කෙහෙවලු පැටලෙයි.! [VIDEO]

පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද(01) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් සමඟ සංධාන ගතවීම යනු සමගි ජන බලවේගය විසින් තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වැනි තත්වයක් බවයි.

එමෙන්ම හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ සමගි ජන බලවේගයට ලැබුණු ජනවරම කොල්ල කෑමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරතවෙනා බවයි.

“එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට යෝජනාවක් ගේනවා අපි කැමතියි ඔබ සමග එකට තරග කරන්න කියලා. අපි කියන්න ඕන මේ වෙලාවේ සමගි ජන බලවේගය කිසිම සිහි මද නොමැති ගතියකින් නෙමෙයි ඉන්නේ කියලා. සමගි ජන බලවේගය ඉතාම ප්‍රකෘතිය සිහියෙන් ඉන්නේ. මේ අය මේ උත්සාහ කරන්නේ මේ ධාරානිපාත වර්ෂාව හමුවේ සමගි ජන බලවේගය කියන මේ ශක්තිමත් කුඩය යටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම මේ කුඩෙත් කුඩු පට්ටම් කරලා දාලා මේ උත්සාහ කරන්නේ සමගි ජන බලවේගයට ලැබුණු ජනවරම කොහොමද කොල්ල කන්නෙ කියලා. ඒ වගේම තමයි ඔටුවා ඔලුව දාගන්න උත්සාහ කරනවා කූඩාරමට අවසානයේ ඔලුව විතරක් නෙමෙයි කද බඩ ඔක්කොම කූඩාරම ඇතුලට දාගෙන කූඩරමේ අයිතිකාරයා පලවා හරින තත්ත්වයකට එන්න තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම උත්සාහ කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මේ ජාවාරම්කාර කල්ලියට අපි කියනවා ඔබ විසින් පහුගිය කාලයේ ෂෙඩ් ලයිසන්, බාර් ලයිසන්, සුඛෝපභෝගී වාහන පහසුකම් මේ සියලු පෞද්ගලික වරප්‍රසාද තමන්ට ඕනවටත් වඩා ආණ්ඩුවෙන් ලබාගෙන දැන් උත්සාහ කරනවා ඒවා සමගි ජන බලවේගයේ ගෙළ සිඳ දැමීමට පාවිච්චි කරන්න.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් එක්ක එකතු වෙනවා කියන්නේ සමගි ජන බලවේගය තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වගේ වැඩක්. එනිසා කිසිසේත්ම සමගි ජන බලවේගයට උවමනාවක් ඇත්තේ නෑ ජාවාරම්කාර කල්ලියකට මේක නවාතැන්පළක් තිප්පලක් බවට පත්කරන්න.

රනිල් වික්‍ර්‍රමසිංහ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම කියන්නේ එක්සත් ජාතික පක්ෂය කවන්ධයක් වගේ. එහි හිස නැතුව කඳ බඩ පමණක් ඇති ඉතිරි තියෙනවා. එවායේ අයිතිය වත් කාගේද කියලා දන්නේ නෑ.

සමගි ජන බලවේගය අදූෂිත දේශපාලන ව්‍යාපාරයක්. මං හිතනවා පක්ෂ නායකත්වය ඉතා ප්‍රබල තීන්දු අරගෙන තිබෙනවා අදූෂිත දේශපාලන නායකයෝ, තරුණ උගත් බුද්ධිමත් අය මීළඟ මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න. ඒ අනුව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු අය විශ්‍රාම ගැන්වීම සඳහා වැදගත්ම අවස්ථාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ එළඹිලා තියෙනවා.

ජාතික ජන බලවේගය මැතිවරණයට කලින් කිව්වේ පෙට්‍රල් වලින් රුපියල් 150කට වඩා වැඩි අයුතු ලාභයක් බද්දක් මේ අමාත්‍යවරු ජාවාරම්කාර පාලක පන්තිය කියලා ලබාගෙන තිබුනා කියලා. ඒ කියපු විදියට අඩුම ගානේ රුපියල් 100 කින් වත් පෙට්‍රල් මිල අඩු කිරීමට ඔබට ශක්තියක් තියෙන්න ඕන. අලියෙක් තරම් විලිලා හරක් පැටියෙක්වත් වදාවි යැයි විශ්වාස කරා නමුත් අවසානයේ මී පැටියෙක් තමයි වදලා තියෙන්නේ”

නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සිදුකළ කතාව,

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement