2022.12.01 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වී පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට කටයුතු කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැති සඳහා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.
ඒ අනුව ජුනි මස මුල් සතියේ සිට මෙරට සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්රතිලාභ ලබාගැනීමේ හැකියාව උදාවේ.
“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය 2017 වර්ෂයේ එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් වන අතර එහි අරමුණ, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය කිරීමයි.
මෙම වැඩසටහන ආර්ථික අර්බුදය හේතුවෙන් මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා මත තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
කෙසේ නමුත් 2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද්දේ මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිමත්භාවයත් සමඟ”සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කිරීම සඳහායි.
ඒ අනුව රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 5ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 4ත් 21ත් අතර වයස සීමාවේ පසුවන ලක්ෂ 45කට ආසන්න මෙරට පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණය සහ අනතුරු රක්ෂණාවරණය යටතේ වූ සියලු ප්රතිලාභ ලබාදීමට යෝජනා වී ඇත.
මෙම වැඩසටහන යටතේ සියලුම සිසුන්ට ලබා දීමට අපේක්ෂිත ප්රතිලාභ මෙසේය.
1. සෞඛ්‍ය රක්ෂණාවරණය.
නේවාසික ප්‍රතිකාර ප්රතිලාභ – රු. 300,000/= දක්වා (රජයේ/පෞද්ගලික රෝහල්වල).
මෙහිදී දරුවා ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රජයේ රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු.2500/= බැගින් ද (රජයේ රෝහලකට ඇතුළත් වූවද මෙහිදී එක් රාත්‍රියක් සඳහා රු.2500/=ක මුදලක් ලබාදීම සිදු කරනුයේ දරුවෙකු අසනීප වූ විට සාමන්‍ය පවුලක දෙමාපියන්ට රැකියාවේ නිරතවීම සම්බන්ධයෙන් මතුවන අපහසුතා හේතුවෙනි.) පෞද්ගලික රෝහලක නතර වී ගතකරනු ලබන එක් රාත්‍රියක් සඳහා රු7500/= බැගින් ද ප්රතිලාභ හිමි වේ.
බාහිර ප්‍රතිකාර ප්රතිලාභ – රු. 20,000/= දක්වා.
මෙම කාණ්ඩය යටතේ පෙර පැවති අක්ෂි දෝෂ සඳහා ඇස් කණ්නාඩි සඳහා ප්රතිලාභ ගෙවීමට අමතරව ශ්‍රවණාබාධ සඳහා ශ්‍රවණාධාර උපකරණ සඳහා ද ප්රතිලාභ ගෙවීම ඇතුළත් කර ඇත. එමෙන්ම දරුවන්ගේ අසනීප තත්ත්වයකදී බාහිර රෝහල් මඟින් සිදු කරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගාස්තු ද මෙම කාණ්ඩයේ ප්රතිලාභ යටතේ ආවරණය වේ.
බරපතල රෝගාබාධ සඳහා ප්රතිලාභ – රු. 200,000/= සිට රු. 1,500,000/= දක්වා ප්රතිලාභ.
2. අනතුරු රක්ෂණාවරණය
පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/= දක්වා ප්රතිලාභ.
සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා – රු. 150,000/= සිට රු. 200,000/= දක්වා ප්රතිලාභ.
තාවකාලික අකර්මණ්‍යතා සඳහා – රු.25,000/= සිට රු.100,000/= දක්වා ප්රතිලාභ.
3. ජීවිත රක්ෂණාවරණය.
දෙමාපියන්ගේ මරණයකදී.
අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා රු.75,000/= ක් දෙමාපියන් දෙදෙනාම සඳහා රු.150,000/= පරිදි ප්රතිලාභ හිමිවේ.
පවුලේ සියලු පාසල් යන ළමුන්ට ප්රතිලාභ හිමිවන නමුත් එක් සිද්ධියක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු.225,000/= කි. (රු.75,000/= බැගින් උපරිම දරුවන් 3 දෙනෙකු සඳහා)
මෙම රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව “සුරක්ෂා” රක්ෂණාවරණය යටතේ දරුවන්ට හිමිවන ප්රතිලාභ එම දරුවන්ගේ දෙමාපියන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරනු ඇත.
වැඩසටහන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්.