ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගත් නිවාස දෙකක් පොලීසිය භාරයට.!

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි නිවාස දෙක අල් කයිඩා සහ තව්හීද් ජමාත් යන ත්‍රස්ත සංවිධාන වල ක්‍රියාකාරකම් සඳහා භාවිත කර ඇති බවට අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මීට අදාළව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නිවාස පොලීසිය භාරයට ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා එම නිවාසවල හිමිකරුවන් විසින් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමටද තින්දු කළේය.

එම පෙත්සම් ඊයේ (26) සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව හෙලිවූ තොරතුරු මත අදාල නිවාස දෙක සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන සිදුකළ බවයි.

ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ ලුක්මාන් තාලිෆ් නමැත්තෙකු මෙම නිවාසවල හිමිකරුවන් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවත් එම නිවාස ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ හා අල් කයිඩා සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට සහ අදාළ නිවාස අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පන්ති පැවැත්වීම සඳහා යොදාගෙන තිබෙන බවටත් කරුණු අනාවරණය වී තිබෙන බවට තහවුරු වී ඇතිබවද රජයේ නීතිඥ ශමින්ද වික්‍රම කරුණු දැක්වීය.

මෙම නිවාස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගැනීමට අදාළව නිකුත්කල නියෝගය සෑහීමකට පත්විය හැකි තොරතුරු පදනම් කරගෙන සිදුකර ඇති බැවින් එමගින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුනොවන බව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

අදාළ නිවාස දෙකේ හිමිකරුවන් විසින් මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close