හිටපු නාවික හමුදාපතිට අභියාචනාධිකරණය දුන් නියෝගය.!

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකළ නඩුවේ විත්තිකරුවකු ලෙස තමා නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම අද (23) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව ජනවාරි මස (28) වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පසුගිය 2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සදහන් කර ඇත.

අභියාචනාධිකරණය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීම වළක්වාලමින් මෑතකදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේය.

Loading