“ක්ලබ් වසන්ත මරන්න උදව් කලේ මමයි.. මට සල්ලි දුන්නා” ටැටූ ආයතනයේ හිමිකරු සියල්ල වමාරයි.!

වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇත.

” ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණා”

මෙම ප්‍රහාරය යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක කරන අතර ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ T 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්ෂර සටහන් කර තිබුණේය.

අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට ලක්වු අතර ප්‍රහාරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන යන අයකු ඝාතනයට ලක්වූ බව පොලිසිය සදහන් කරයි.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇති අතර එම ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ව්‍යාපාරිකයකු වන ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසකට ආරාධනා කර තිබුණේය.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයකට පසුව සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී T 56 ගිනි අවි දෙකක් රැගෙන ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

කොන්ත්‍රාත්තුවකට අනුව ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දස ලක්ෂයක් බැරවී තිබූ බව අතර ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බව පොලිසිය සදහන් කරයි.

සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වන අතර ඔහු කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් කරගෙන ගොස් ඇති බවත් නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර ඇති බවද සදහන් කරයි.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු වන අතර රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close