දැවැන්ත අරගලයකට අධිකරණ ක්ෂේත්‍රයේ සූදානමක්.. විජේදාස ඉල්ලන් කෑමට නියමිතයි.!

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පසුගියදා අධිකරණ ක්ෂේත්‍රයට අදාළව පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක හා එහි ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බැවින් එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදු කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විජේදාස රාජපක්ෂ විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබුනි.

කෙසේවෙතත් එම ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් කැඳවීමට ක්‍රියා කළ හොත් ඉතිහාස ගත වන ප්‍රබල අරගලයකට නීති ක්ෂේත්‍රයේ අංශ රැසක් සාමුහික සූදානමකින් පසුවන බව වාර්තා වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ නීතිඥ සංගම් රැසක් සහ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයන්ගෙන් සෑදුම් ලත් අධිකරණ සේවා සංගමය මෙන්ම රටේ සමස්ත අධිකරණ පද්ධතියේ ම කාර්ය මණ්ඩල ද සහභාගී කරවාගනිමින් දැවැන්ත විරෝධතාවක් පැවාත්වීමට කටයුතු කරනා බව අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් පවසයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය 30 වෙනි දින කොළඹට රැස් වූ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ සංගමය ඒකමතිකව තීරණය කර ඇත්තේ අධිකරණ සේවා සංගමයේ සභාපති රුවන් දිසානායක, එම සංගමයේ ලේකම් ඉසුරු නෙත්තිකුමාර තම සංගමය වෙනුවෙන් සාමුහික අවබෝධයකින් ක්‍රියා කර ඇති බවත් එම නිසා එම නිලධාරීන් රැක ගැනීම සඳහා කොන්දේසි විරහිතව ශක්තිමත්ව පෙරට ඒමටත් අවස්ථානුකූලව කටයුතු කිරීමටත් එම සංගමය සූදානමින් සිටිනා බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close