By unusuma.lk on
(LK time)අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වන එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කර අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ඉවත දමන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
අභියාචනාධිකරණයේ තීරණය නීතියට පටහැනි බවත් එය ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර අනතුරුව එම ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා පෙබරවාරි මස (21) වනදා කැඳවන ලෙසට නියෝග කළේය.
2022 වසරේ මැයි මස (09) ගාලු මුවදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් එවක බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කළ බව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම තුළින් සදහන් කර ඇත.
නීතිපතිවරයාගේ එම තීරණය අභියෝගයට ලක් කරමින් එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ බවද ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ සදහන් කර ඇත.