By unusuma.lk on
(LK time)තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන් විසින් 2023 ජනවාරි 27 වැනිදා අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අන්දමින් රඳවා තබා ගනිමින් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාල එම වින්දිතයා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) විභාගයට ගත් අවස්ථාවේ එම තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතීපතිවරයා නියෝජනය කරමින් නඩුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙය ඉතාම බරපතල සිද්ධියක් වන හෙයින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටීමට තීරණය කළ බවත් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටිනා බවත්ය.
මෙම පෙත්සම කැඳවණු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේය.
රුවන් ශාන්ත ප්‍රියදර්ශන නමැත්තා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, නීතිපතිවරයා, ඇතුළු 11 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබුණි. .