වසන්තය නිමි.. බිත්තර මිල 60/= පනී.!

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ සීඝ්‍රයෙන් පහළ යන බිත්තර මිල පාලනය කිරීමට රජය පියවර නොගතහොත් තවත් නොබෝ දිනකින් යළිත් බිත්තරය රුපියල් 60 අභිබවා ඉහළ යනු ඇති බවයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පෙන්වා දෙන්නේ, බිත්තර මිල පහළ යාම හේතුවෙන් බොහෝ බිත්තර නිෂ්පාදකයින් කිකිළියන් මසට විකිණීමට පෙළඹී ඇති බවයි.

බිත්තර කුකුළු මස් (කරි චිකන්) කිලෝවක් මිලදී ගැනීම් මිල රුපියල් 250-300 දක්වා පහත බැසීම හරහා පෙන්නුම් කරනුයේ අති විශාල ප්‍රමාණයෙන් බිත්තර කුකුළන් මස් සඳහා අලෙවි වෙමින් පවතින බවයි.

රාමසාන් සමයේ අධික ඉල්ලුම හේතුවෙන් මේ වනවිට වෙළඳපොළ පවතින බිත්තර අතිරික්තය තවත් දින කිහිපයකින් අවසන් වනු ඇති බවත් ඉන් පසු නැවතත් සිංහල දෙමළ අළුත් අවුරුදු කාල සීමාව තුළ අධික බිත්තර හිඟයක් ඇතිවනු ඇති බවත් ක්ෂේත්‍රයේ නියලී සිටින්නන් පවසති.

කෙසේවෙතත් වෙළෙඳ පොළේ බිත්තර මිල මේ වන විට සීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර පසුගිය කාලය තුළ රුපියල් 60 ඉක්ම වූ මිලකට අලෙවි කෙරුණු බිත්තරයක්, මාස කිහිපයක සිට අලෙවි වන්නේ රුපියල් 25ත් 30ත් අතර මිලකටයි.

Loading