By unusuma.lk on
(LK time)මේ රට දියුණු වෙන්න නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලුම දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රටේ නීතියට යටත් නැතිව නීති කැඩු හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ඉතාමත් සක්‍රියව වැඩ කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මේ වෙලාවේ සමහරු කියනවා ආණ්ඩුවේ වැඩ ගැන සතුටුයි නමුත් හොරු අල්ලනවා මදියි කියලා, මතක තියාගන්න. තව ටික දවසකින් පෝලිමේ ඒක වෙන්නේ. දැනටත් තුන හතරක් රිමාන්ඩ්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන සියලු ආයතන ඉතාමත් සක්‍රියව වැඩ කරමින් වංචාවේ, දූෂණයේ යෙදුණ අය අධිකරණයට ගෙන යාමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් සිටිනවා.
ඌව පළාතේ හිටපු මහ ඇමැති මුදල් ගනු දෙනුවකදී ආණ්ඩුවට සිදුකළ පාඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිව්වා ඊට අදාළ බැංකු ගිණුම අයින් කර ගන්න කිව්වේ එයා කියලා. අල්ලස් කොමිසමෙන් හැරෙන තැපෑලෙන් ලියුමක් යවලා එහෙනම් ඔයත් එන්න කියලා.
ඒක හොඳද.? නරකද.? මීට කලින් මෙහෙම වුණාද.? ඒ ගොල්ලන්ට අත තියන්නේ නැහැ. කවදාවත් සී.අයි.ඩීයට, අල්ලස් කොමිසමට එන්නේ නැති අය. අල්ලස් කොමිසම නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අපි ඒකට පහසුකම් සපයා ඔවුන්ට ස්වාධීනත්වය ලබාදී තිබෙනවා. ඔවුන් වැඩේ හරියට කරනවා. මේවායින් පෙන්වන්නේ නීතිය ඉටු වන රටක් බවයි.
සාමාන්‍යයෙන් කට්ටිය පොලිසියට බයේ හැංගෙනවා. පසුගිය දවස් වල පොලිස්පති හැංගෙනවා. අද ලංකාවේ සැමට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතියට යටත් වෙනවා වගේම නීතියට ටිකක් බය වෙන්නත් ඕනෑ. හැබැයි අපේ ලොකු ලොකු අය නීතියට යටත් නැහැ. නීතියට බයත් නැහැ. වාහන ආනයනය තහනම් කරලා තිබුණ කාලේ ගෙනාපු වාහන හිටපු ඇමැතිවරු මන්ත්‍රීවරු ළඟ තිබිලා හම්බ වෙනවා.
වාහන රෙජිස්ටර් කරන්නේ නැතුව පාරේ දුවලා. සාමාන්‍ය කෙනෙකුට බයිසිකලයක් පාරට දාන්න පුළුවන්ද.? අංක තහඩුව නැතුව.? ඒ කියන්නේ ඇමැතිවරුන්ට මන්ත්‍රිවරුන්ට නීතියක් නැහැ. එහෙම කරපු එක්කෙනා දෙන්නා ඇතුළට ගන්නවා. තව පෝලිමක් ඉන්නවා. මේ තමයි නීතිය ක්‍රියාත්මක වීම. පළිගැනීමද.? නැහැ. මේ කිසිවක් පළිගැනීමක් නෙවෙයි. අප කරන්නේ හැමදෙනාම නීතියට යටත්වන රටක් හදන එකයි.
මේ රට දියුණු වෙන්න නම් ලොකු පොඩි භේදයකින් තොරව සියලු දෙනාට සමව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”
ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.