කල්පිටියේ බූරු වැඩක් අරඹයි.!

ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමේ අරමුණින් කල්පිටියේ බූරු කිරි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට මෙරට ව්‍යවසායකයෙකු සූදානම් වෙයි.

රොෂාන් ලෝව් නැමති ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකුගේ මූලිකත්වයෙන් ඉතාලි ආයෝජනයක් හරහා මෙම වයාපෘතිය සැළසුම් කර තිබේ.

යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී ඇති අතර මෙම රැස්වීමට පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රේන්ජර් උපාලි කුමාරතුංග, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී ඩැම් සිරි මධුමල්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරී එච්.එම්. දිසානායක සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් සහභාගී වී ඇත.

සාකච්ඡාවෙන් පසුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක්ද පවත්වා ඇති අතර ඉතාලියේ වසර 35ක වෘත්තීය අත්දැකීම් ඇති රොෂාන් ලෝව් මහතා, කල්පිටියේ බූරු ගොවිපොළක් පිහිටුවීමෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගත හැකි බවත්, එමගින් විදේශ ආදායම් උපයා ගත හැකි බවත් පවසයි.

බූරු ගැහැනු සතුන් (ජෙනීස්) 700ක් පමණ යොදාගෙන ලබාගන්නා බූරු කිරි, කිරි පිටි බවට පත් කර ඉතාලිය හෝ ස්පාඤ්ඤය වැනි රටවලට අපනයනය කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා සැලසුම් කර ඇති අතර, පසුව වෙනත් බූරු කිරි නිෂ්පාදන අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

ඒ සඳහා කල්පිටියෙන් අක්කර 100ක ඉඩම් කොටසක් අත්පත් කර ගැනීමට සහ කල්පිටිය හා මන්නාරම් ප්‍රදේශවලින් බූරු සතුන් 1000ක් පමණ ලබා ගැනීමට අපේක්ෂා කරන අතර බූරු කිරි නිෂ්පාදන නිපදවීමට අමතරව, බූරු අපද්‍රව්‍ය භාවිතා කර කාබනික පොහොර නිපදවීමටද මෙමගින් බලාපොරොත්තු වෙයි.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන් 400 දෙනෙකුට රැකියා අවස්ථා උත්පාදනය කරනු ඇති බව ඔහු පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
8 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments