රනිල් අල්ලස් කොමිසමට පැමිණීම නැවතත් ප්‍රතික්ෂේප කරයි.. ජනපති අනුරට විජේදාසගෙන් උපදෙස් ගන්න යැයි දන්වයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දැනුම් දී ඇත. මෙම කැඳවීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

කෙසේ වෙතත් තමන්ගේ නීතීඥයා රටගොස් ඇති බවත් වෙනත් නීතීඥයෙකු සොයාගන්නට අපහසු බවත් කියමින් නීතීඥයා ලංකාවට පැමිණි පසු මෙම කැඳවීමට ප්‍රතිචාර දක්වන බව හිටපු ජනපති අද කියා තිබේ.

අල්ලස් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, හිටපු ජනාධිපතිවරයා 25 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා ඇත.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තම නීතිඥයා දැනට විදේශගත වී සිටින බැවින්, ඔහු පැමිණි පසු දිනයක් යොදාගෙන අල්ලස් කොමිසමට පැමිණෙන බවයි.

මෙම ප්‍රකාශය ඔහු කළේ අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදීය. මෙම හමුව පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණයේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂක අපේක්ෂිකාවන් සමඟය.

වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් කතා කරමින්,

“චාමර සම්පත් මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා මා ගැනත් කතා කරලා තිබුණා. මම ඒවා මෙතන කතා කරන්න යන්නේ නෑ. මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට. ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යැයි මා කියා තිබෙනවා,” 

යනුවෙන් පැවසීය.
එමෙන්ම ඔහු වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන අදහස් දක්වමින්,

“ඒ කාරණයේදී අපේ ජනාධිපතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නාම මට එකක් පෙනුනා. ඔහු දූෂණ විරෝධී නීතිය කියවලා නෑ. මේක විභාග කරන විට කාටවත් ඒ ගැන කතා කරන්න බැහැ කියා එතුමා කිව්වා. එහෙම කිසිම කොන්දේසියක් දූෂණ විරෝධී පනතේ නෑ. ඒක හොයාගත්තේ කොහෙන්ද? දූෂණය ගැන කතා කරනවා. පනත කියවලා නෑ, ඒ පනත් සම්මත කළේ මා ජනාධිපති ධුරයට පත් වූ පසුවයි.

විජයදාස රාජපක්ෂ ඇමතිවරයා මෙය සකස් කොට ඉදිරිපත් කළා. මේ දූෂණ විරෝධී පනත මෙන්ම අපරාධ වලින් උප්පාදිත පනතත් ඉදිරිපත් කළේ අපි. ඉතා වේගයෙන් ඒ කටයුතු කළා. විජයදාස රාජපක්ෂ මැතිතුමා නීති හදන්න දක්ෂයා. උදේ කිව්වොත් හැන්දෑවට හෝ ඊළඟ දවසට හදාගෙන එනවා. දන්නේ නැතිනම් එතුමාගෙන් ගිහින් අහගන්න. මම කියන දේ පිළිගන්නේ නෑනේ,”

යැයි විවේචනාත්මකව අදහස් දැක්වීය.

වාර්තා වන අන්දමට, මීට පෙරද පසුගිය 17 වැනිදා වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසමට කැඳවා තිබුණි. එහෙත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් සිය නීතිඥයින් කොළඹ නොමැති බව දන්වමින්, එදිනට පැමිණිය නොහැකි බව ඔහු කොමිසමට දැනුම් දී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments