කටුනායක වැරදුනු කුරුමානමෙන් පසු වෙඩික්කරු හිසට වෙඩි තබාගැනීමට උත්සාහ කරලා.!

අද (22) උදෑසන කටුනායක ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

අද පෙරවරු 10:00 පමණ වෙඩික්කරුවන් දෙදෙනා අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණේ පොලියට මුදල් ලබාගැනීමට අවශ්‍ය බවට පවසමිනි.

37 හැවිරිදි අංජන නැමති මෙම ව්‍යාපාරිකයා දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි මුදල් පොලියට දීමේ කටයුතුවල නිරත පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා රතු පැහැති ස්කූටර් යතුරුපැදියකින් ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ මෝටර් රථයක ලිපි ලේඛන රැගෙනවිත් මුදල් ලබාගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ ව්‍යාපාරිකයා මොවුන් නිවසට ඇතුළුවූ පසු වහාම ගේට්ටුව දුරස්ථ පාලකයක් මගින් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ඒ සමගම නොසන්සුන් වී ඇති වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්හාස කර තිබුණත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.

ඒත් සමගම ව්‍යාපාරිකයා වෙඩික්කරුවන් සමග පොරබැඳ තිබූ අතර එහිදී වෙඩික්කරුවන් ඝාතන ප්‍රයත්න අතහැර නිවසෙන් පලායෑමට තැත්කර තිබේ.

නිවසේ ගේට්ටුව වසා තැබීම නිසා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අතහැර අඩි 9ක් පමණ උසැති තාප්පයෙන් පැන තිබුණි. 

එහිදී එක් වෙඩික්කරුවෙකුගේ පාදයේ අස්ථි බිඳීමකට ලක්වී ඇති අතර ඔහු තාප්පයෙන් පිටත ප්‍රදේශයේ වැටී සිටියදී සිය ගිනිඅවියෙන් හිසට වෙඩිතබා ගැනීමටද උත්සාහ දරා තිබුණත් එහිදී ද ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වෙයි.

ඉන්පසුව මෙම සිදුවීම කටුනායක පොලීසිය වෙත දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තාප්පය අසල වැටී සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක්, ඒ සඳහා භාවිත කරන 
උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතොරම් ගැබක්, තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතොරම් ගැබක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව මේ වනවිට තුවාල ලැබූ සැකකාර වෙඩික්කරු ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩිතැබීම සඳහා පැමිණ තිබූ අනෙක් වෙඩික්කරු මිලිමීටර් 09 වර්ගයයේ පිස්තෝලයක් ද සමග නිවසේ තාප්පයෙන් පැන පලාගොස් අතුරුදන් වී ඇත.

අදාළ සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙකු බවද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments