පොහොට්ටුවේ අපේක්ෂක ඩෑන් මරාදැමුවේ ඇයි.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ජාතිවාදී මැර ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රකට ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පසු රෝහල්ගත කොට, අසාධ්‍ය තත්වයේ ප්‍රතිකාර ලබමින් සිට අද අළුයම ජීවිතක්ෂයට පත්විය.

ඩයන් ප්‍රියසාද් කොළොන්නාව නගර සභාවේ මීතොටමුල්ල කොට්ඨාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ ඊයේ (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

එම වෙඩි තැබීමෙන් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බවත් ඉන් මොහොතකට පසු ඔහු මරණයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මුලින් නිවේදනය කළේය. 

ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මෘත ශරීරාගාරයේ තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණි. එහෙත්, කොළඹ ජාතික රෝහලේ ආරංචිමාර්ග සඳහන් කළේ එම නිවේදනය සකස් කරන විටත් ඩෑන් ප්‍රියසාද් ජීවිතය සමඟ පොරබදිමින් දැඩි සත්කාර ඒකකයේ සිටි බවයි. ඒ වන විටත් ඔහු මියගොස් තිබුණේ නැත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. වෙඩිතැබීම සිදුවන මොහොතේ ඔහු මත්පැන් පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව වාර්තා විය.

ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයාද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුනි.

ඩෑන් ප්‍රියසාද් සිංහලේ ජාතික සංවිධානයේ සමාරම්භක නායකයෙකු වේ. ඔහු ඇතුළු තරුණයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය වූ සිංහල ජාතික සංවිධාන රැසක් දැඩි මුස්ලිම් විරෝධයකින් බලහත්කාරී ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවක් 2016 පමණ කාලයේ සිට ඇති විය.

ව්‍යාජ තොරතුරු හුවමාරු කරමින්, තරුණ පරම්පරාව බියෙන් උසිගන්වමින් ප්‍රචණ්ඩක්‍රියා වෙත යොමු කිරීමට එවැනි සංවිධාන කටයුතු කළ අතර, දේශද්‍රෝහී ලෙස ඔවුන් හැඳින්වූ පුද්ගලයන්ට එරෙහිව සංවිධානාත්මකව ක්‍රියාත්මක විය. ඇතැම් අවස්ථාවල මැර කණ්ඩායම් ලෙසද ඔවුන් ක්‍රියා කළ අතර මෙවැනි ජාතිකවාදී සංවිධාන බුද්ධි අංශ සමඟඟ සම්බන්දතා පැවැත්වූ බවද තොරතුරු ඇත.

2017 වර්ෂයේදී රොහිංයා සරණාගතයන් සිටින ස්ථානයකට කඩාවැදීම ඇතුළු ස්ථාන කිහිපයකට කඩාවැදීමට ඔහුට නඩු පැවරීම් කර තිබුණත් ඔහු සිදු කර ඇති ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලට අදාලව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වැනි පනත් කිසිදා යොදාගෙන තිබුණේ නැත.

2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගලයට කඩා වැදී සාමකාමී අරගලකරුවන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ එයට ඩෑන් ප්‍රියසාද් සම්බන්ධ වූ අතර, ගෝල්ෆේස් අරගලයේ මුල් දිනවල සිටම ඔහු ඇතුලු පිරිසක් එයට උත්සාහ ගත් බවට තොරතුරු තිබුණි. සාමකාමී අරගලයට පහරදීමට ඔවුන් ගත් උත්සාහය ව්‍යවර්ථ වුණේ, ජනතාව ඔවුන්ගේ හිංසනයට ඔවුන්ගේම භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබුණු නිසාය.

ඩෑන් ප්‍රියසාද් මියගොස් බවට ව්‍යාජ පුවත් මීට පෙර 2025 ජනවාරි මාසයේදී පළ විය. එයින් පසු ඔහු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර, අධිකරණයටද ඉදිරිපත් කරන ලදී. ඩෑන් මෙරට හමුදා බුද්ධි අංශ, ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් සහ විවිධ ජාතිවාදී මැර ක්‍රියා පිළිබඳ බොහෝ තොරතුරු දැනසිටි අයෙකු බව ප්‍රකටය.

Author – Satahana Radio

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments