සූට්කේස් ඝාතකයාට මරණ දඬුවම.!

මීට වසර 9 කට පෙර කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර, ඇයගේ මෘත දේහය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් පාරේ බස් නැවතුම්පොලක තබා පලා ගිය චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2015 වසරේ ජූලි මස 29 වැනි දින කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ලැගුම්හලකදී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාව ඝාතනය කර, ඇයගේ මෘත දේහය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොලක දමා යාමේ සිද්ධියට අදාළව පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු බව සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු ප්‍රකාශ කර සිටියේ තමා එම චෝදනාවලට නිවැරදිකරු බවයි. එහෙත්, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින්, ඔහු එම චෝදනාවලට වරදකරු කරන බවත්, ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඝාතනය පිටුපස කතාව

සිද්ධිය මුලින්ම වාර්තාවන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම අසළදී ආන්දෝලනයට තුඩු දුන් සූට් කේසයක දමා තිබියදී හමුවූ කාන්තා මළ සිරුර  නිසාය.

එම සිදුවීම ගැන මාධ්‍ය හෙළිදරව්වලින් පසුව හෙට්ටිවීදියේ ලැගුම්හලක කළමනාකරුවෙකු පොලිසියට පැවසුවේ සැකකටයුතු ගමන් මල්ල තම ලැගුම් හලේ සිට ගෙන ගිය අයුරු සීසීටීවී දර්ශන හමුවූ බවකි. මේ ගැන පොලිසිය සිදුකළ පරීක්ෂණ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ මුහුණ අනුව අනන්‍යතාව හඳුනාගෙන ඇගේ භාරකරුවන් පොලිසිය අමතා තිබුණි.

ඒ සමග එකී කාන්තාව සමග ඒ දිනවල ගතකළ අනියම් සැමියෙකු ගැන විස්තරද සපයා තිබුණි. පොලිසියේ සූක්ෂ්ම විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන පසුව අත්අඩංගුවට ගන්නට හැකි විය.

සිරුර දමාගිය බව කියන මියගිය කාන්තාවගේ අනියම් සැමියා, මන්නාරම – කෝවිල්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු එම ඝාතනය සිදු කළ බව පිළිගෙන පොලිසිය හමුවේ එය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූ තොරතුරු අනුව, මියගිය කාන්තාවගේ හිටපු සැමියා සමග ඇයට ප‍්‍රශ්න තිබී ඔහු ඇය හැරදමා වෙනත් කසාදයක් කරගෙන විදේශ ගතවූ පසු මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ඇය සමග එකට ජීවත්වී ඇත.

නීත්‍යානුකූලව කසාද නොබැන්දත් එම සබඳතාව කෙරෙහි දෙපාර්ශ්වයේ විරෝධයක් තිබී නැත.
මේ දෙදෙනා යාපනයේ සිට කොළඹට පැමිණ ඇත්තේ මීට වසර තුනකට ඉහතදීය. ආමර්වීදිය, කඳාන යන ප‍්‍රදේශවල පදිංචිව සිටි මොවුන් රැකියාව ලෙස කර ඇත්තේ කුකුළු ගොවිපළවල වැඩයි.

කඳාන ප‍්‍රදේශයේ වාසය කරන කාලයේ සැකකරුට දාව මියගිය කාන්තාව දරුවෙකු ප‍්‍රසූත කර ඇත. පෙර විවාහයෙන්ද දරුවෙකු සිටි අතර, එම දරුවා ඥාතීන්ට භාරදී සිටි මෙම කාන්තාව මේ අවස්ථාවේ දරුවා ලැබුණ පසු රාගම රෝහලේ දරුවා දමා පැනගිය බවද සැකකරු පාපොච්චාරණයේදී කියා ඇත.

මෙයට හෙතුවී ඇත්තේ ඔවුන්ගේ දිළිඳුකමයි. අනතුරුව කාන්තාව සැකකරු සමඟ දිවුලපිටිය ප‍්‍රදේශයේ වෙනත් කුකුළු ගොවිපොළක සේවය කර ඇත. එම කුකුළු ගොවිපොලේ හිමිකරු සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා ඔවුන් දෙදෙනාව එයින් පන්නා ඇති අතර ඒ නිසා ඔවුන්ට එකවර යාපනයට යාමට නොහැකිව රැකියාවක් සොයාගන්නා තෙක් හෙට්ටිවීදියේ තාවකාලික ලැගුම්හළක පදිංචියට පැමිණ තිබුණි.

එහි සතියක කාලයක් සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව එහි රැඳී සිට ඇත. 29 වනදා උදෑසන ඔවුන් දෙදෙනා අතර නැවත රැකියාව ලබාගැනීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිබේ. දිවුලපිටිය කුකුළු ගොවිපොළ හිමිකරු කාන්තාවට පමණක් රැකියාව දෙන්නට කැමති බවට පණිවිඩ එවූ පසු ඒ එය වෙත තනිවම යාමට ඝාතනයට ලක්වු කාන්තාව ප‍්‍රතික්ෂේප කිරීම නිසා සැකකරු ඇය සමග ආරවුල් කරගෙන ඇත.
එම අවස්ථාවේ ලැගුම්හළ තුළදී සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව එකවරම මියගොස් ඇත. තමා දෙසට සෙරප්පුවකින් පහර දුන් මියගිය කාන්තාවට ප‍්‍රතිප‍්‍රහාර ලෙස පහර කිහිපයක් එල්ල කළ නමුත් ඇය මියයාවි යයි ඔහු සිතා නැත. නමුත් ඇගේ හිසේ නරක තැනකට පහර වැදීම නිසා මියගොස් ඇති බව ඔහු දැක ඇති අතර ඒ නිසා භීතියට පත්ව තිබේ.

තමා ඝාතනයට හසුවුවහොත් අනවශ්‍ය කරදර වේ යයි සිතූ ඔහු මළ සිරුර දෙකට නමා ගමන් බෑගයේ දමාගෙන වවුනියාවේ සහෝදරියකගේ නිවසකට යන්නට කල්පණා කර තිබේ. පිටකොටුව – බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත ඔහු පිටත්වන්නේ ඒ අනුවයි. සැකකරු එම ගමන් බෑගයට අමතරව තවත් ගමන් මළු දෙකක් රැගෙන වවුනියාවට යන්නට පිටත්ව ඇත්තේ ත‍්‍රීරෝද රථයකිනි.

මළ සිරුර තිබූ ගමන් බෑගය බරින් වැඩි නිසා බස් නැවතුම්පොලේ තැබූ ඔහු අනතුරුව වවුනියාව බස් නවත්වන ස්ථානයට බස් එකක් තිබේදැයි බලන්නට ටිකකට යන්නේ නැවත එතැනට එන්නට සිතාගෙනය.

නමුත් ඔහු නැවත මිනී ගමන් බෑගය රැගෙන ඒමට යන අවස්ථාව වන විට පුද්ගලයින් එතැන වටවී සිටිනු ඔහු දැක ඇත. එම ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කරමින් විශාල පිරිසක් රැඳී සිටීම නිසා බියට පත් ඔහු එම ගමන් බෑගය අතට ගැනීම අතහැර දමා වවුනියාවේ සහෝදරියගේ නිවසට යාමට පිටත්වුණි.

එහි එක් දිනක් සිටි ඔහු පසුව මන්නාරමේ පිහිටි ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි. අනතුරුව පෙදරේරු රැකියාව සඳහා ගොස් තිබුණ ඔහු පොලිසියේ පරීක්ෂණ අනුව අල්ලාගැනීමට හැකිවුණි.

තමා එම කාන්තාව මරන්නට සිතා සිටියේ නැති බවත් ක්ෂණික කෝපය නිසා මේ ඝාතනය සිදුවූ බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත. කෙසේ වෙතත්, ඔහු මෙම ක්‍රියාව සඟවා ඝාතනය පිළිබඳව පොලිසියට වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් චෝදනා එල්ල වී ඇත.

දීර්ඝ විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පැට්‍රික් ක්‍රිෂ්ණරාජා චෝදනාවලට වරදකරු බව ප්‍රකාශ කර, ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments